පියදාස සිරිසේන මහතා 1875 අගෝස්තු මස 31 වන දින බෙන්තොට, කොස්ගොඩ, ඉඳුරුවේ අතුරුවැල්ල ග්‍රාමයේදී උපත ලැබීය. ඔහුගේ පියා එමානිස් අප්පුහාමි නම් වූ අතර මවගේ නම වූයේ දොම්වෝ හාමිනේය. මෙතුමාට දෙමාපියන් විසින් ලබා දුන් නම වනුයේ “පේද්‍රික් සිල්වා වැරණියගොඩ” යන්නයි. ඔහු දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයා විය. අවාසනාවන්ත ලෙස ඔහුගේ පියා ඔහු කුඩා කාලයේදීම මියගිය බැවින් ඔහු ලොකු මහත් වූයේත් ඉගෙන ගත්තේත් සිය වැඩිමහල් සොහොයුරන්ගේ සහයෝගයෙනි.
පියදාස සිරිසේන මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වරාහේන ස්වභාෂා පාඨශාලාවෙන්ය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු බෙන්තොට ලංසි පල්ලියට හා අලුත්ගම බ්‍රොහියර් විද්‍යාලයට ගොස් ඇත. එමෙන්ම ඔහු බුද්ධ ධර්මය ඉගෙන ගනු ලැබුවේ එකල යාලේ ජයසුමනාරාමාධිපතිව වැඩ සිටි සිරි සුමනතිස්ස හිමියන්ගෙනි. ඔහු සිංහල ව්‍යාකරණ පිළිබඳව අධ්‍යාපනය ලබා ගත්තේ ඉඳුරුවේ ජී. ඇස්. ද සිල්වා ගුරුතුමාගෙනි. පාසල් කාලයේ සිටම පේද්‍රික් දරුවා තුළ කවි රචනා කිරීමේ අපූරු හැකියාවක් පැවතිණ.
අනගාරික ධර්මපාල තුමා රට පුරා ඇවිදිමින් දේශන පවත්වමින් සිංහලයන්ගේ සංකර ගති සිරිත් යහමගට ගන්නට උත්සාහ කරන ලද්දේ පේද්‍රික් දරුවා පාසල් යන අවධියේදී ය. ඉඳුරුවේ පිරිමි පාඨශාලාවේ පැවැති ධර්මපාලතුමාගේ දෙසුම අසන්නට ගිය එවකට 14 හැවිරිදි පේද්‍රික් සිසුවා ධර්මපාල තුමා ඉදිරියේ තමන්ම රචනා කළ කවි පෙළක් ගායනා කළේය. ඔහු ගැන ඉතාමත් පැහැදුණු ධර්මපාලතුමා දරුවාගේ නම ඇසූ කල ඔහු දුන් පිළිතුර වූයේ පේද්‍රික් සිල්වා යන්නයි. විදේශීය පන්නයට තිබූ එම නාමය එවෙලේම වෙනස් කොට “පියදාස සිරිසේන” යන නාමය ධර්මපාලතුමා විසින් ඔහුට ලබාදුනි.
පියදාස සිරිසේන මහතා වයස අවුරුදු 21දී රැකියාවක් කිරීම සඳහා කොළඹ නගරයට පැමිණ සයිමන් පෙරේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් රාළහාමිගේ ලී භාණ්ඩ වෙළඳසැලක ලිපිකරුවෙකු වශයෙන් සේවය කළේය. ඔහු රැකියාව කරන අතරතුරම සිතුමිණ සඟරාවට සහ සරසවි සඳරැස පුවත්පත් වලට කවි හා ලිපි ලිවීමට පටන් ගත්තේය. එහිදී ඔහුගේ ලේඛන දක්ෂතාවය හේතුවෙන් කෙටි කලකින් සිතුමිණ සඟරාවේ උපකතෘ ධූරයක් ලබා ගැනීමේ අවස්ථාව ඔහුට හිමිවිය.
1998 වර්ෂයේ දී ඔහු බැත්මගේ දෝන සිසිලියා පෙරේරා සමග විවාහ විය. විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරු දැරියන් එකොළොස් දෙනෙක් හිමිවිය.
ඉංග්‍රීසි පාලන කාලය තුළදී සිදුවුණු සමාජ පරිහානිය සමඟම බුද්ධාගමටද විශාල හානියක් සිදුවූ අතර ජනතාව පාරම්පරික කුල සිරිත් වෙනුවට අයාලේ යන සංකර ජීවිතයකට හුරු වී සිටියේය. මේ සංකර සමාජයට විරුද්ධව පියදාස සිරිසේන මහතා කවි ලියූ අතර පසුව නවකතා වලින්ද එම සංකර සිරිත් වලට පහර දුන්නේය. ඔහු බොහෝ විට කවි ලියනු ලැබුවේ ජනතාව තුළ දේශානුරාගය ඇවිලවීමටයි. එමෙන්ම උදාර සංස්කෘතියක් හිමි රට පරගැති වී තිබෙන අන්දම ගැනත් ඔහු පුවත්පත්වලට ලිපි ලිව්වේය. 1902 වර්ෂයේදී ඔහු “සිංහල ජාතිය” සඟරාව ආරම්භ කළ අතර වසර අටක් ගත වූ පසු එය පුවත්පතක් ලෙස පළ කෙරිණි.
වාසනාවන්ත විවාහය හෙවත් “ජයතිස්ස හා රොසලින්” නවකථාවෙන් ආරම්භ වූ ඔහුගේ නවකතාකරණය 1944 වර්ෂයේදී ලියැවුණු “අන්තිම කැමැත්ත” නවකතාවෙන් අවසන් විය. මෙයට අමතරව අපට වෙච්ච දේ, මහා වියවුල, තරුණියකගේ ප්‍රේමය, යන්තම් ගැලවුණා, සුචරිතාදර්ශය, පසන් නිවස, පරිවර්තනය, ශ්‍රී ලංකා මාතා, පළමුවන පාසල සහ ඩෙබර කෙල්ල වැනි නවකතා රාශියක් ඔහු විසින් රචනා කරන ලදී. එමෙන්ම මෙරට මුල්ම රහස් පරීක්ෂක කතා කලාවේ ආරම්භකයා වූයේද පියදාස සිරිසේන මහතායි. එහිදී ප්‍රථම රහස් පරීක්ෂක චරිතය වන්නේ කෝංගොඩ වික්‍රමපාල චරිතයයි. ඒ 1918 වර්ෂයේදී පළවුණ ඔහුගේ “ඩිංගිරි මැණිකා” නොහොත් “වික්‍රම පාලගේ පළමුවැනි වික්‍රමය” නවකතාවෙනි. මෙලෙස නවකතා 20ක්, කාව්‍ය කෘති 11ක් සහ ශාස්ත්‍රීය පොත් 4ක් ඔහු අතින් බිහිවිය.
1915 වර්ෂයේදී පැවති සිංහල-මුස්ලිම් කෝලාහලයෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් යුද්ධ නීතිය පනවා සිංහල නායකයින් රැසක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔවුන් කෝලාහලයට අනුභල දුන් බවට චෝදනා නගමිනි. මෙහිදී අමද්‍යප සංවිධානය සමග කටයුතු කළ පියදාස සිරිසේන මහතාත් අත්අඩංගුවට ගත් අතර ඔහු නිර්දෝෂී බැවින් ටික කලකින්ම නිදහස ලැබුණි. ඔහු සිර ගෙදර සිටි කාලය තුළදී “අෂ්ටලෝක ධර්මය” නම් කෘතිය රචනා කරන ලදී.
පියදාස සිරිසේන මහතා 1906-1946 වසර හතළිහ තුළ ලංකාවේ සිටි හොඳම සහ ජනප්‍රියම සාහිත්‍යකරුවා විය. පුවත්පත් කතුවරයෙකු, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමියකු, කවියෙකු, ලේඛකයෙකු, දේශකයකු මෙන්ම දේශප්‍රේමියකු විලසින් පියදාස සිරිසේන මහතා මෙරටට විශාල සේවයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ පුරෝගාමියකු ලෙස විශාල සේවයක් ඉටුකළ මෙතුමා මෙරටට නිදහස ලැබීමට වසර දෙකකට පෙර එනම් 1946 වර්ෂයේ මැයි මස 22වන දින කොළඹ සෙන්ට්‍රල් ආරෝග්‍ය ශාලාවේදී අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකාවට විශාල සේවයක් සිදු කළ පියදාස සිරිසේන මහතා සිහිකරනු වස් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය මඟින් 1979 මැයි මස 22වන දින මුහුණත වටිනාකම රු.1.25 ක් වූ සමරු මුද්දරයක් නිකුත් කරන ලදී. එම මුද්දරය පිළිබඳව විස්තර පහත දක්වා ඇත.
මුද්දරය පිළිබඳ විස්තර
නිකුත් කළ දිනය | 1979.05.22 |
මුහුණත වටිනාකම | රු. 1.25 |
සැලසුම්කරු | පී.ඇස්.පී. ජයතිලක |
ප්‍රමාණය | 36mm × 30mm |
මුද්‍රණ ක්‍රමය | අනුකෘත (ඔෆ්සෙට්) |
පත් සැකැස්ම | පත්‍රිකාවක මුද්දර 100 බැගින් |
හැඩය | සිරස් |
මුද්‍රණකරු | සීමාසහිත ටොපැන් මුද්‍රණ සමාගම, ජපානය |
භාවිතා කළ වර්ණ | කළු, රතු, කහ සහ නිලට හුරු කොළ |
කඩදාසි | එක් පසෙක ආලේපිත 104.7gsm කඩදාසි |
මැලියම් | ඝර්ම කලාපීය දේශගුණයට ගැලපෙන මැලියම් |
නාමාවලි අංක | Stanley Gibbons LK 669 Michel LK 497 Stamp Number LK 551 Yvert et Tellier LK 516 |
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)