කළුතර බාලිකා ජාතික පාසලේ “කැකුළු කොදෙව්ව” මුද්දර සංගමය

අරමුණු

ලෝකයේ පවතින විනෝදාංශ අතරින් මුද්දර එකතු කිරීම වඩාත් ජනප්‍රිය විනෝදාංශයකි.රජවරුන්ගේ විනෝදාංශය එසේත් නැතිනම් විනෝදාංශයන්ගේ රජ ලෙස හැඳින්වෙන මෙය ලොකු කුඩා කාගේත් අතර වැඩි ජනප්‍රියත්වයක් උසුලයි.

මුද්දර එකතු කිරීම වඩාත් ජනප්‍රිය වීමට හේතු කිහිපයකි.

1.ඒ වෙනුවෙන් අධික මුදලක් වැය නොවීම

2.පහසු වීම.

3.ආරක්ෂා කරගැනීම පහසු වීම අදියයි.

එමෙන්ම අනාගතයේදී එමගින් ලබා ගත හැකි ආර්ථික ප්‍රයෝජන ද ඉමහත් වේ. මුද්දර එකතු කිරීම ලොව දස ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ සිත් බැඳගෙන ඇත්තේ මේ හේතුව නිසාවෙනි.

වර්තමානය වන විට ලෝකයේ සෑම පුද්ගලයෙකු සතුවම ඔවුනටම ආවේණික වූ විනෝදාංශයක් ඇත.
ඒ අතර බොහෝ දුරට ළමයින් බොහෝ දෙනා වර්තමාන ලෝකය සමග බැඳී පවතින තාක්ෂණය හේතුවෙන් අන්තර්ජාලයට පිවිසීම, වීඩියෝ සෙල්ලම් කිරීම,සමාජ මාධ්‍ය භාවිතය ආදිය දැක්විය හැක.

නමුත් මෙහිදී අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ සාමාන්‍යයෙන් අතීතයේ සිටම ප්‍රචලිතව පැවති නමුත් වර්තමානය වන විට මදක් ඈත්ව ගොස් ඇති විනෝදාංශයක් වන මුද්දර එකතු කිරීම පිළිබඳවයි.

මුද්දර එකතු කිරීම වඩාත් ජනප්‍රිය මෙන්ම විනෝදජනක විනෝදාංශයක් වීමට හේතු කිහිපයකි.

1.අධ්‍යාපනික දැනුම ලබා ගත හැකි වීම

2. විවිධ හේතූන් මත මුද්දර එකතු කිරීමේදී විවිධ ස‍‍ංස්කෘතීන් ,උත්සව ආදිය පිළිබඳව දැනගත හැකිවීම

3. ආර්ථික ලාභ ලැබීම ආදී වශයෙනි.

මුද්දර ඉතිහාසය පිළිබඳව බිඳක් කිවහොත් ලොව ප්‍රථම තැපැල් මුද්දරය එංගලන්තයේදී නිර්මාණය වු අතර එය “පෙනී බ්ලැක්” නමින් හැඳින්වේ .එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමුවන තැපැල් මුද්දරය වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය සහිත පැන්ස 6 ක් වටිනා මුද්දරයයි.

මෙවන් තොරතුරු බොහොමයක් දැනගැනීමට මුද්දර එකතු කරන්නෙකුට හැකිවේ….

මුද්දර එකතු කරන විට දැනුම පමණක් නොව එකමුතුකම, ඉවසීම ආදී ගුණාංගද නිතැතින්ම වර්ධනය වේ..

මන්ද ඊට අදාළ විවිධ ව්‍යාපෘති ආදිය සංවිධානය කිරීම මගිනි.

මේ වන විට අප විද්‍යාලයේ කැකුළු කොදෙව්ව මුද්දර සංගමය විසින් විවිධ ව්‍යාපෘති සිදුකර ඇති අතර එහිදී අප සාමජිකාවන් ඉතා එකමුතුවෙන් කටයුතු කර අප සංගමයේ අරමුණු ඉටු කර ගැනීමට සාර්ථකව එම ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ බව මතක් කල යුතුය.

එසේම මේ අයුරින් ප්‍රයෝජනවත් විනෝදාංශයක නිරත වී ළමා කාලය සතුටින් මෙන්ම අර්ථවත්ව ගත කිරීමට ඔබට ද මෙමගින් මහඟු අත්වැලක් ලැබේ.

මුද්දරයේ අතීතය, වර්තමානය, අධ්‍යාපනික පසුබිම හා මුද්දර හා බැඳි බොහෝ රසමුසු තැන් මනාව ස්පර්ශ කරන අප මුද්දර සංගමය මුද්දරය කෙරේ සැබෑ ඇල්මක් සහ දැනුමක් ඇති කරමින් නවක එකතු කරන්නන්ව නිර්මාණය කරයි.

මේ අනුව මුද්දර එකතු කිරීමටත් මුද්දර පරිශීලනය කිරීමෙන් දැනුම ගවේෂණය කිරීමටත් අපට කළුතර බාලිකා විද්‍යාලයේ කැකුළු කොදෙව්ව මුද්දර සංගමය තෝතැන්නක් වන බව සනාථ වේ.


කළුතර බාලිකා විද්‍යාලයේ කැකුළු කොදෙව්ව මුද්දර සංගමය වන අප සංගමය 2015 වර්ෂයේ සිට පවත්වාගෙන එනු ලබයි.

2023 වසරට වසර අටක් සම්පූර්ණ වන අප සංගමය මගින් සිදු කරන්නේ දරුවන්ට මුද්දර එකතු කිරීම සම්බන්ධ දැනුම ලබාදීම පමණක් නොව ඊටත් එහා ගිය පුළුල් ක්ෂේත්‍රයකට දරුවන්ව යොමු කිරීමයි.

වර්තමානය වන විට දරුවන් බොහෝ සෙයින් ඇලුම් කරන්නේ ජංගම දුරකථන භාවිතයෙන් විවිධ වූ ක්‍රම භාවිතා කොට තමන්ගේ විනෝද කාලය නිෂ්ඵලව ගත කිරීමටයි.

එසේම දරුවන්ගේ අතීත මතක තෝතැන්නේ සමරු එකතුවක් ලෙස ද මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ නියැලෙන දරුවාගේ මුද්දර එකතුව අපට නිර්වචනය කළ හැකිය.

ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරන අපගේ රට ඉන් මුදවා ගැනීමට අපගේ අනාගත දරුවන් පුරුදු කළ යුතුය.එහෙයින් ඔවුන් සතු වැඩිදියුණු විය යුතු ගුණාංග රැසක් කෙරෙහි ද සංගමය මගින් අවධානය යොමු කරයි.

අප සංගමයේ දරුවන් හට මුද්දර එකතු කිරීම පමණක් නොව ගුණ නැණින් පිරිපුන් දරුවන් පිරිසක් අනාගත සමාජයට දායාද කිරීමට ද සංගමය මගින් ඔවුන් සතු ගුණාංග තව තවත් වර්ධනය කරයි.

මෙවන් වූ කරුණු රැසකට අවධානය යොමු කරමින් සංගමයේ අරමුණු සැලසුම්කරන ආකාරයටම ක්‍රියාවට නංවමින් දරුවන්ගේ අනාගතය යහපත් ආකාරයෙන් ගොඩනගා ගන්නට ඔවුන්ට මග පෙන්වීම සංගමය භාරව කටයුතු කරන ගුරුතුමිය ලෙස මාගේ අභිලාෂයයි.

Upulie Naurunnage

සංගමය භාර ගුරුතුමිය,
කැකුළු කොදෙව්ව මුද්දර සංගමය,
කළුතර බාලිකා ජාතික පාසල.

upuliindika49@gmail.com

විදුහල්පතිනිය – තුෂිනි වීරකෝන් නියෝජ්‍ය විදුහල්පතිනි – අයේෂා රතුගමගේ

කළුතර බාලිකා ජාතික පාසලේ කැකුළු කොදෙව්ව මුද්දර සංගමය මීට වසර අටකට පෙර පටන් අප පාසලේ පවතින සංගමයකි.

මුද්දර එකතු කිරීමේ විනෝදාංශය තුළින් අපට විෂය සමගාමී දැනුම මෙන්ම අප ජීවත්වන සමාජය පිළිබඳව ද එහි ඉතිහාසය පිළිබඳව ද මනාවබෝධයක් ලබා ගැනීමට හැකිවන බව මෙයින් සිහිපත් කරමි.
එසේම මෙමගින් ආර්ථික වාසි ද ලබාගත හැකිය.

විවිධ වූ සංගම් අතර අප සංගමය සුවිශේෂී තැනක් ගනියි.ඊට හේතුව වන්නේ මෙමගින් ගතහැකි වාසිදායක තත්වයන් රාශියක් වන බැවිනි.ඒවා පිළිබඳව සංගමයේ අරමුණු ඔස්සේ ඔබ දැනුවත් කර ඇත.

වර්තමානයේ පවතින විනෝදාංශ අතරින් මෙම විනෝදාංශය කැපී පෙනෙන විනෝදාංශයක් බව නැවතත් මතක් කරමි.

සංගමයේ මේ වන විට සාමාජිකාවන් තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන අතර ඔවුන් ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් මෙම විනෝදාංශයෙහි නියැලෙති.

විවිධ වූ තරග එසේම ව්‍යාපෘති ද පවත්වමින් සාමාජිකාවන්ගේ මේ පිළිබඳව ඇති දැනුම ඉහළ නංවාලීමටත් වර්තමානය වන විට සිසුකැළගේ පහළ බහිමින් සිටින ගුණ ධර්ම වර්ධනය කිරීම ද මාගේ අභිප්‍රායයි.

මෙවන් වූ ඉතාමත් වටිනා විනෝදාංශයක නියැලෙමින් අප ජීවිතය ඉතාමත් අර්ථවත්ව ගත කරමු.

තරිඳි වික්‍රමතුංග,

සංගමයේ සභාපති,
කැකුළු කොදෙව්ව මුද්දර සංගමය,
කළුතර බාලිකා ජාතික පාසල.

කැකුළු කොදෙව්ව මුද්දර ස‍ංගමය වන අප සංගමයේ ඉතිහාසය……

2015 වසරේදී දරුවන් වෙනුවෙන් කැකුළු කොදෙව්ව මුද්දර සංගමය එවකට අප පාසලේ ගුරුතුමියක් වූ දීපා රංගනී ආරච්චිගේ ගුරුමහත්මිය විසින් ආරම්භ කරන ලදී.

ආරම්භක අවධියේ සාමාජිකාවන් 30 ක් පමණ සාමාජිකත්වයේ පසුවූ අතර අප ස‍ංගමය අද වන විට සාමාජිකාවන් සංඛ්‍යාව 300 කට ආසන්න වන ලෙස ඉහළ ගොස් ඇති බව සතුටින් ප්‍රකාශ කරමි.

අප ස‍ංගමය මුද්දර කාර්යංශයේ 2015 වසරේ ලියාපදිංචි කළ අතර එතැන් පටන් මේ දක්වා ඉතාමත් ක්‍රියාකාරී ලෙස ස‍ංගමයේ වැඩ කටයුතු සිදු කරගෙන යනු ලබයි.

සංගමය ආරම්භයේ සිට මේ දක්වා සෑම වසරකදීම පහත දක්වා ඇති ක්‍රියා සිදු කරනු ලබයි.

• සංගමයට ඇතුළත් වන නව සාමාජිකාවන් හට වැඩමුළු පවත්වා මුද්දර එකතුව පිළියෙල කරන ආකාරය හා ඒ පිළිබඳව සියළු තොරතුරු ආවරණය කිරීම.

• සෑම වර්ෂයකදීම සංගමයේ සාමාජිකත්වය දරන සියලුම සාමාජිකාවන් හට සාමාජිකත්වය දරන සියලුම සාමාජිකාවන් හට වැඩමුළුවක් පැවැත්වීම.

• කොළඹ මුද්දර කාර්යංශයේ ඇති කෞතුකාගාරය නැරඹීමට වාර්ෂිකව සාමාජිකාවන් රැගෙන යාම.(එහිදී ප්‍රමුඛතාවය ලබා දුන්නේ අප සංගමයේ නව සාමාජිකාවන්ටයි.)

• සෑම වර්ෂයකදීම සාමාජිකාවන්ගේ දැනුම් මට්ටම ඉහළ නැංවීමට ද සාමාජිකාවන්ගේ මුද්දර එකතු කිරීමට ඇති උනන්දුව තව තවත් වර්ධනය කිරීම පිණිස විවිධ වූ පියවර ඔස්සේ තරග පවත්වනු ලබයි.

• විවිධ වූ ව්‍යාපෘති පවත්වා සාමාජිකාවන්ගේ ගුණධර්ම වර්ධනය කරයි.


ක්රියාකාරකම්


2023.06.21

Stamp Workshop for new members

2023.06.21 දින සංගමයේ නව සාමාජිකාවන් වෙනුවෙන් මුද්දර පිළිබඳව වැඩමුළුවක් පැවැත්වීම.

පාසල් සංවර්ධන සමිතියේ අපේ දෙමව්පියෙක් වන රවීන්ද්‍ර මාතරආරච්චි මහතා විසින් මෙහෙයවන ලද වැඩමුළුව පාසල් ශ්‍රවණාගාරයේ පවත්වන ලදී


2023.06.30

Visit to Philatelic Museum and workshop by Philatelic Bureau

2023.06.30 දින සංගමයේ නව සාමාජිකාවන් කොළඹ මුද්දරකාර්යාංශයේ කෞතුකාගාරය නැරඹීමට රැගෙන යාම සහ එය නැරඹීමෙන් පසුව මුද්දර කාර්යාංශය විසින් දරුවන් වෙනුවෙන් වැඩ මුළුවක් පැවැත්වීම.


2023.09.19 – 2023.09.20

2023.09.19 දින අප සංගමය මගින් සාමාජිකාවන් සඳහා badges නිර්මාණය කෙරුණි.

2023.09.20 වන දින අප සංගමය මගින් T Shirt නිර්මාණය කිරීම.


2023.12.05

2023.12.05 දින නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පැවැත්වුණු වැඩමුළුව හා ප්‍රදර්ශනයට සහභාගි වීමට අප සංගමයේ සාමාජිකාවන් දස දෙනෙකුට අවස්ථාව ලැබීම


වර්තමාන (2023/2024) කැකුළු කොදෙව්ව මුද්දර සංගමයේ තනතුරු මණ්ඩලය

සංගමය භාරව කටයුතු කරන ගුරු මහත්මිය : Upulie Naurunnge.

සභාපති : Tharindi Wickramathunge

උප සභාපති : Thamashi Manjana.

ලේකම් : Pamudi Theja.

උප ලේකම් : Ronashi Wasana.

භාණ්ඩාගාරික : Dewinya Dewhara.

උප භාණ්ඩාගාරික : Lithuli Thiyansa.

Loading