පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ලෙසින් හඳුන්වන අපගේ මාතෘ භූමියට, සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක් කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමෙහිලා මහත්වූ වෙහෙසක් දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානයක් එස්. මහින්ද හිමියන්ට අත්වේ. ජාතියෙන් සිංහලයකු නොවූවද, ලක්‌බිමෙහි නොඉපදුණද , සිංහල ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික හැඟුමකින් ක්‍රියා කළ මහින්ද හිමියෝ සිය කවීත්වය උපයෝගි කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූහ.
එස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත.
මධ්‍යම ආසියාවේ හිමාලය කදු වැටියේ සීකිම් දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 වර්ෂයේදී උපත ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්. කේ. තෂිනම්ගල් ලෙස නම් තබන ලදී. එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම්හී අගනුවර වන ගංටොක් නුවරය. කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. සිය සොහොයුරා භික්ෂුවක් නිසා ඔහුට බුද්ධාගම ගැන ඉමහත් ලැදියාවක් විය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්ව විද්‍යාලයේ ටිබෙට් භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක් කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට් රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.
1912 වසරේදී දෛවෝපගතව මෙන් ලංකාවේ බෞද්ධ කටයුතුවල නිරතව සිටි ජර්මානු ජාතික ඥාණාතිලෝක හිමියන් සිකිම් දේශයට පැමිණියේ සීකිම් පූණ්‌නජි හිමියන් හමුව යම් තාන්ත්‍රික ධර්මයේ අඩංගු සුත්‍ර පිළිබද සොයාබලන්නටය. ත්‍රිපිටකයේ ජර්මානු පරිවර්ථනයක් ලියමින් සිටි ඥාණාතිලෝක හිමියන් ට ආධාර කරන්නට ලන්කාවට එන්නට කැමති වූ සීකිම් පූණ්‌නජි හිමියන් සිය සොහොයුරා තෂිනම්ගල්ද කැටිව ඥාණාතිලෝක ස්වාමින් වහන්සේ සමගම ලක්‌දිවට පැමිණ දොඩන්දූවේ පොල්ගස්දූව ආරණ්‍යයේ නතර විය. තෂිනම්ගල් දරුවා මෙහි පැමිණෙන අපිට ඔහුගේ වයස අවුරුදු 11ක් පමණ විය.
පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගිය තෂිනම්ගල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ එස්. මහින්ද (සිකිම් මහින්ද) හිමි නමිනි. ඉන් පසුව අලුත්ගම සීලක්‌ඛන්ධ නාහිමියන්ගෙන් සංස්‌කෘත සිංහල, පාලි, බුද්ධාගම ආදී සියලු ශාස්‌ත්‍රයන් මැනවින් ප්‍රගුණ කරමින් ව්‍යක්‌ත ධර්ම දේශකයන් වහන්සේ නමක් වූයේ සාමණේර අවධියේදීමය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට් එස්. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩන්දූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.
පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සිට රත්මලානට පැමිණ රත්මලාන පුරාණ රජමහා විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන්ගේ ශිෂ්‍යයකුව කලක් සිය අධ්‍යාපන කටයුතුවල නියැලුණේය. ප්‍රාචීන මධ්‍යම විභාගයන් සමත්ව 1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. ඒ කිරිගල්පොත්ත ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම ඉන්ද්‍රජෝති නායක හිමියන් ආචාර්ය කොටගෙනය. ඉන් වසරකට පසු මහනුවර ශ්‍රී පුෂ්පාරාම උපෝසථාගාරයේ දී සියම් නිකායේ උපසම්පදාව ලබන ලදී. 1934 දී පමණ මරදාන ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට එක්‌විය.
කුමන කාර්යයක නිරතවී සිටියද දේශවාත්සල්‍ය දනවන උසස් කවි ලියමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමට මහින්ද හිමියන් කිසිවිටෙකත් අමතක නොකළේය.
1935 දී “ලංකා මාතා” නමැති විශිෂ්ට කාව්‍යය පෙළක් ලියමින් සිය කවීත්වය මැනවින් ඉස්‌මතු කළ උන්වහන්සේ අඛණ්‌ඩව කවි ලියුවේ අසරණව සිටි සිංහලයාට වහල් බැම්මෙන් මිදී නිවහනව නැඟී සිටීමට ධෛර්යය දීමටය. මහින්ද හිමියන්ගේ කවි අසිපතනේ නැඟුණු රණහඬ නිදහස් සටනට උරදී සිටි විරුවන්ගේ සිතට මහත් ශක්‌තියක් විය.
“ඔවා මුතු දම” නමැති කවි පොත රචනා කරමින් ග්‍රන්ථ කරණයට පිවිසි උන්වහන්සේ ඉතා වටිනා කාව්‍ය ග්‍රන්ථ 29 ක් සහ ගද්‍ය ග්‍රන්ථ 11 ක් ලියා පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට නොපිරිහෙලා දායක වූහ. කොළඹ යුගයේ ප්‍රථම කාලයේ දක්‍ෂ කවියකු වූ ටිබෙට් හිමියෝ දිනපතා හා සති අන්ත පුවත්පත්වලට සඟරාදියට සැපයූ ලිපි කවි ආදිය අප්‍රමාණය.
මහින්ද හිමියන් ළමා පරපුර වෙනුවෙන් ද බොහෝ කවි ගී ලියා ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ළමා ලෝකයේ සුන්දරත්වය ඉතා සරළව මෙන්ම රසවත්ව ඉදිරිපත් කරමින් ළමා මනස පුබුදුවාලීමට වෙහෙස දැරීය. ළමා කවි කළඹ, ඔවා මුතු දම, කව්මිණ, කව්මුතු එයට කදිම උදාහරණ වේ.
උන්වහන්සේ සිය ජීවිතයේ අවසන් වසර 15 ම පානදුරේ මහබෙල්ලන සුධර්මාරාම විහාරයේ වැඩ වෙසෙමින් විශාල ශාසනික මෙහෙවරක නිරත විය. අමද්‍යප ව්‍යාපාරයට සාර්ථක දායකත්වයක් සපයමින් ඉංගීසි පාඨශාලාවක් හා නවලංකා දහම් පාසල පවත්වාගෙන යැමට කටයුතු කළේය.
විදේශිකයකු වුවද සිංහල ජාතිය අසරණව සිටි අවධියක සිංහල ජාතියේ ඉතිහාසය සහ ප්‍රෞඩත්වය පෙන්වා දෙමින් සිංහලයා තුළ දේශානුරාගය හා නිවහල් හැඟුම් ඇතිකරලීමට දිවිහිමියෙන් කටයුතු කළ ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමියෝ 1951 මාර්තු 16 දා සකල ලංකාවාසී බෞද්ධ ජනතාවම ශෝකයට පත්කරමින් හදිසියේ අපවත්වී වදාළ සේක.
මුද්දරය පිළිබඳ විස්තර
නිකුත් කළ දිනය | 1971.10.29 |
මුහුණත වටිනාකම | ශත 05 (රු. 0.05) |
සැලසුම්කරු | A. ධර්මසිරි |
ප්‍රමාණය | 25mm × 29mm |
මුද්‍රණ ක්‍රමය | ඔෆ්සෙට් ලිතෝග්‍රැපි |
සිදුරු ප්‍රමාණය | 14 |
මුද්‍රණකරු | හැරිසන් ඇන්ඩ් සන්ස් ලිමිටඩ් (Harrison & Sons Ltd.) |
භාවිතා කළ වර්ණ | තැඹිලි |
නාමාවලි අංක: | Stanley Gibbons LK 579 Michel LK 415 Stamp Number LK 458 Yvert et Tellier LK 431 |
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)