මොහිදීන් බෙග් මහතා

ශ්‍රී ලංකාවේ පළමු සම්මානනීය පුරවැසියා වන්නේ සංහිඳියාවේ ගායකයා ලෙසින් හඳුන්වනු ලබන මොහිදීන් බෙග් මහතාය. උපතින් ඉන්දියානුවෙකු වූ මෙතුමා 1918 දෙසැම්බර් 05 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සේලම් නගරයේදී උපත ලැබීය. සේලම් නගරයේ ඉපදුනද, ඔහු අයත් වන්නේ හයිද්‍රාබාද් මුස්ලිම් පරපුරටය. බෙග් යන පෙළපත් නාමයට ඉතා දිග ගෞරවනීය ඉතිහාසයක් ඇත. ඔහු දරුවන් දහ හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා ලෙස උපත ලැබීය. මෙතුමාගේ මව බිජාන් බෙග් නම් වූ අතර පියා වූ කරීම් බෙග් සේලම් නගරයේ පොලිස් නිලධාරියකු විය. 

මොහිදීන් බෙග් මහතා සේලම් නුවර පාසලකින් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත් අතර දෙමළ, උර්දු සහ ඉංග්‍රීසි භාෂාවන් මැනවින් ඉගෙන ගත්තේය. එමෙන්ම මෙතුමා මුල් යුගයේදී විවිධ ගුරුවරුන් යටතේ උර්දු හා කවාලි ගීත ගායනය පිළිබඳව හදාරනු ලැබුවේද සේලම් හිදීය.

මොහිදීන් බෙග් මහතාගේ සීයා වූ හලාල්දීන් මහතා ලංකාවේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සේවය කළ අතර වැඩිමහල් සොහොයුරා වූ අසීස් බෙග් මහතාද ඉන්දියාවෙන් ලංකාවට පැමිණ ලංකාවේ වරාය පොලිසියේ සේවය කළේය. නමුත් ඒ වන විට බෙග් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ජීවත් වූයේ ඉන්දියාවේය. අසීස් බෙග් මහතා සේවය කරමින් සිටිනා ආතරතුරදී බෝට්ටු අනතුරකින් මිය ගියේය. එම පුවත සැලවීමත් සමඟ බෙග් පවුලේ සියලු දෙනා මියගිය සිය සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියහ. පසුව මොහිදීන් බෙග් මහතාද වයස අවුරුදු 18 සම්පූර්ණ වන විටම ලංකාවට පැමිණ හමුදා සේවයට බැඳුණි. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ එයයි.

සංගීතයට මොහිදීන් බෙග් මහතාගේ තිබූ ආසාව හා හැකියාව හඳුනාගත් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ගුරුතුමා (Band Master) විසින් ඔහුව යූ.ඩී. පෙරේරා මාස්ටර්ට හඳුන්වා දෙන ලදී. එතනින් නොනැවතුනු එම ගමනේදී පෙරේරා මාස්ටර් විසින් ඔහුව එවකට ලංකාවේ ප්‍රසිද්ධ සංගීතඥයෙකු වූ මොහොමඩ් ගවුස් (ගවුස් මාස්ටර්) මහතාට හඳුන්වා දුන්නේය. ඔහු සිංහල ගීත ගායනය සඳහා නැඹුරු වූයේ මේ කාලයේදීය. එම සිංහල ගීත බොහෝමයක් හින්දි ගී තනු අනුව නිමවූ ඒවා විය.

1934 වර්ෂයේදී මොහිදීන් බෙග් මහතාගේ මුල්ම ගීතය පටිගත කිරීම සිදුවුණි. එය “තුම් හෝ මූජිකෝ ප්‍රේම සිතායා” නම් හින්දි ගීතයේ තනුවට අනුව නිර්මාණය වූ “කරුණා මුහුදේ නාමු ගිලීලා – ප්‍රේම මනෝහර ගීත ගයාලා” ගීතයයි. ඔහු එම යුග ගීතය ගායනා කරනු ලැබුවේ එවකට ලංකාවේ ජනප්‍රිය ගායිකාවකව සිටි ටී.පී. රාජලක්ෂ්මි මහත්මිය සමඟයි. සිංහල භාෂාව නිවැරදිව කතා කිරීමට නොහැකි වුවත් බෙග් මහතා මෙම ගීතය ගායනා කරන ලද්දේ ගී පද උර්දු භාෂාවෙන් ලියා ගැනීමෙන්ය. එම ගීතය රේඩියෝ සිලෝන් (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඔහුටද සංගීත සාජ්ජවල ගීත ගායනා කිරීම සඳහා බොහෝ ඇරයුම් ලැබුණි. බෙග් මහතා සාජ්ජවල ගීත ගායනා කළේ හමුදාවේ සේවය කරන අතරතුරේදීය. දිනෙන් දින ඒවාට ලැබෙන ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ඔහු හමුදා සේවයෙන් ඉල්ලා අස්විය.

1947 වර්ෂයේදී මොහිදීන් බෙග් මහතා ඔහුගේ ඥාති සොහොයුරියක් වන සකීනා බෙග් සමග විවාහ විය. ඔවුනට දරු දැරියන් 8 දෙනෙක් ලැබුණු අතර එම පවුල උස්මාන්, හයිඩර්, මුබාරක්, ඉෂාක් සහ ඉල්යාස් නම් පුතුන් 5 දෙනෙකුගෙන් සහ රබියා, සලීමා සහ මොයිනා නම් දියණියන් 3 දෙනෙකුගෙන් ‍සමන්විත විය. මේ අතරින් ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන ඉෂාක් සහ ඉල්යාස් පියාගේ උරුමය ඉදිරියට ගෙන යන ජනප්‍රිය ගායකයෝ වෙති.

1947 වසරේදී මොහිදීන් බෙග් මහතා ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ “අශෝකමාලා” චිත්‍රපටයෙන් තම ප්‍රථම චිත්‍රපට ගීතය මෙන්ම ප්‍රථම චිත්‍රපට රඟපෑමද ඉදිරිපත් කළේය. “අශෝකමාලා” යනු මෙරට දෙවන සිංහල චිත්‍රපටයයි. ඔහු එම චිත්‍රපටයේ ගීත හතරක් පමණ ගායනා කර ඇත. මෙහිදී ඔහු විසින් ගැයූ “ප්‍රීතී.. ප්‍රීතී.. චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවි..” ගීතය අතිශය ජනප්‍රිය වීමත් සමග බෙග් මාස්ටර්ට චිත්‍රපටවල පසුබිම් ගායනය සඳහා ආරාධනා බොහොමයක් එක දිගට ගලා එන්නට විය.

අනතුරුව ඔහුගේ ගී හඬ චිත්‍රපට 450කට අධික ප්‍රමාණයකින් ඇසෙන්නට විය. ඒ අතරින් 1956 වර්ෂයේදී “අංගුලිමාල” චිත්‍රපටයට ඔහු විසින් පසුබිම් ගායනය සිදුකළ “බුද්ධං සරණං ගච්ඡාමි” ගීතය මිනිසුන් අතර අතිශයින් ජනප්‍රිය විය. එමෙන්ම එම වසරේ බුද්ධ ජයන්ති උත්සවය වෙනුවෙන් “බුද්ධ ජයන්ති බැබලේවා” ගීතයද ගායනා කළේය. ඒ අනුව රටට සේවයක් කළ පුරවැසියෙකු ලෙස සලකා 1956දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මොහිදීන් බෙග් මාස්ටර්ට “සම්මානනීය පුරවැසිභාවය” එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දෙන ලදී. එතැන් පටන් මොහිදීන් බෙග් මහතා ලාංකිකයකු විය. (මෙම සම්මානනීය පුරවැසිභාවය දෙවන වරට හිමිවූයේ 1993 වසරේදී ආචාර්ය ආතර් සී. ක්ලාක් නම් මහා විද්‍යාඥයාටය.)

බෙග් මාස්ටර් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගායක ගායිකාවන් වූ රුක්මණී දේවි, එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, ජී.එස්.බී. රාණි පෙරේරා, ලතා වල්පොල මෙන්ම ඉන්දියානු ගායිකා ජමුනා රාණි සමගද ගීත රැසක් ගායනා කර ඇත. එමෙන්ම භාර්තීය ගීත කෝකිලාවිය ලෙස නම් දැරූ ලතා මංගේෂ්කාර් සමගද ගීත ගායනා කිරීමේ අවස්ථාව “සැඩ සුළං” චිත්‍රපටය ඔස්සේ ඔහුට හිමිවිය.

මොහිදීන් බෙග් මාස්ටර් විසින් වර්තමානය වන විටද ඉතා ජනප්‍රියව පවතින ගීත රැසක් ගායනා කර ඇත. බුදුන්ගේ අමා ධර්මේ, ගිරිහෙල් මුදුනේ, දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි, සුදු සඳ රැස් ගලන, පාපේ ගැලීලා, දුප්පතාට කෝ සැප ලෝකේ, ඔබෙරාගී මන කැලඹේදෝ, සකල සතම බොදු බැතියෙන්, කවුද මේ ලෝකේ, මේ ලෝක තලේ සුරකින, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ වැනි ගීත ඒ අතරින් කිහිපයකි.

හොඳම ගායකයා ලෙස ඔහු දිනා ඇති සම්මාන කිහිපයක්ම වේ. 1967 වසරේදී අල්ලපු ගෙදර චිත්‍රපටයේ ගායනය උදෙසා ඔහු හිමි කරගත් ‘‘සරසවි’’ සම්මානය ඉන් එකකි. සරසවි සම්මානයන්ට අමතරව ‘‘දීපශිඛා’’ සම්මානයද මෙතුමා විසින් හිමි කරගෙන ඇත. එයට අමතරව 1987 වසරේදී කලාසූරී සම්මානයෙන්ද හෙතෙම පිදුම් ලැබුවේය. එමෙන්ම ඔහු රේඩියෝ සිලෝන්හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව) A ශ්‍රේණියේ ගායකයෙකුද විය. බෙග් මාස්ටර් දේශීය මෙන්ම විදේශීය ප්‍රසංග රාශියකම ගීත ගායනා කර ඇත. මිය යන තුරුම මෙරට සියලු සංගීත ප්‍රසංගයන්ගේ ආරම්භක ගායකයා වූයේ මොහිදීන් බෙග් මාස්ටර් වීම කැපී පෙනෙන සිදුවීමකි.

1991 නොවැම්බර් 03වන දින මොහිදීන් බෙග් මහතා ඇසේ සුද ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සඳහා යොමුවිය. ඇසේ සුද ඉවත් කිරීම යනු එතරම් බරපතල සැත්කමක් නොවූවද බෙග් මාස්ටර්ට එය මරණය රැගෙන ආවේය. නිර්වින්දනය කිරීමේ දී සිදුවූ ගැටලුවක් නිසා බෙග් මාස්ටර් නැවත සිහි නොලබාම මෙලොව හැර ගි​යේ 1991 නොවැම්බර් 4 වෙනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු 71ක් විය. ඉස්ලාමීය සම්ප්‍රදායන් අනුගමනය කරමින් ඔහුගේ අවමංගල්‍යය දිනක් ඇතුළත සංවිධානය කර කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

කලාශූරි අල්හාජ් මොහිදීන් බෙග් මැතිතුමා සිහිකරනු වස් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් 2020 පෙබරවාරි මස 20 වන දින මුහුණත වටිනාකම රු. 15.00ක් වූ තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී. එම මුද්දරය පිළිබඳව විස්තර පහත දක්වා ඇත.

මුද්දරය පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය2020.02.20
මුහුණත වටිනාකමරු. 15.00
සැලසුම්කරුවත්මි ද සොයිසා
ප්‍රමාණය30mm × 41mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 20 බැගින්
සිදුරු ප්‍රමාණය13 1/4 × 12
මුද්‍රණකරුරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
භාවිතා කළ වර්ණහතරකි
කඩදාසි102gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි
මැලියම්PVA
මුද්‍රණය කළ ප්‍රමාණය300,000
නාමාවලි අංකCSL 2366
Michel LK 2290
Stamp Number LK 2226
Yvert et Tellier LK 2230

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *