උඩවලව ජාතික වනෝද්‍යානය

වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදිකිරීම නිසා වාසස්ථාන අහිමි වූ සතුන්ට රැකවරණය සැපයීමත් උඩවලව ජලාශයේ ජලාධර ප්‍රදේශය ආරක්ෂා කිරීමත් අරමුණු කරගෙන නිර්මාණය කරන ලද උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කලාප වලට මායිම්ව පිහිටා ඇත. මෙය සංචාරකයන්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අතර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානය ද වේ.

උද්‍යානය තුළින් ගලා බසින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගංගාවක් වන වළවේ ගඟ හරස්කොට උඩවලවේ ජලාශය ඉදිකර ඇත. වර්තමානයේ උඩවලව ජාතික වනෝද්‍යානය ලෙස ප්‍රකාශයට පත් වී ඇත්තේ උඩවලව ජලාශයේ ආසන්න ජලාධාර ප්‍රදේශය (Immediate catchment) යි. 1972 ජුනි 30 වන දින වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ උඩවලව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කළ අතර එවකට එම ජලාධාර ප්‍රදේශයේ වනාන්තරයක් නොතිබූ අතර ගෝනුන් සහ තිත් මුවන් කිහිප දෙනෙකු හැර වෙනත් වන සතුන් එහි වාසය කළේ ද නැත. සම්පූර්ණ ප්‍රදේශයම පිරී පැවතුණේ අනවසර හේන් වගා වලිනි. එබැවින් 1977 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් පසු අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි. ඉන් පසු වසර 2 1/2ක් පමණ ගෙවී යාමේදී ප්‍රදේශය වනාන්තරයෙන් වැසී ගියේය. කල් යත්ම උඩවලව ජලාශයට අමතරව වලවේ ගංගාධාර සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදි වූ චන්ද්‍රිකා වැව, සමනල වැව සහ මව් ආර ජලාශය බිහි වීමේදී නිජබිම් අහිමි වූ වන සතුන්ද උද්‍යානය කරා සංක්‍රමණය වූ අතර අලි ඇතුන් ඉන් ප්‍රධාන විය. එතැන් සිට උද්‍යානය සංවර්ධනය කර සංචාරකයන් සඳහා 1980 වර්ෂයේදී විවෘත කරන ලදී.

මෙම උද්‍යානය වර්ග සැතපුම් 119ක් (හෙක්ටයාර 30,821) පුරා පැතිර පවතින අතර, එහි සම්පූර්ණ ධාරිතාවයෙන් හෙට්ටයාර 3405ක් ආවරණය වන පරිදි උඩවලව ජලාශය ද පිහිටා ඇත. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට සහ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට මායිම් වන පරිදි පිහිටා ඇති උඩවලව ජාතික වනෝද්‍යානය ගිනිකොණ දෙසින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට සම්බන්ධ වේ. උඩවලව-තණමල්විල මාර්ගය මෙහි දකුණු මායිමේ පිහිටා ඇති අතර පාරට දකුණෙන් සෙවනගල උක්වත්ත පිහිටා ඇත.

උඩවලව ජාතික වනෝද්‍යානය තෙත් සහ වියලි කලාප වලට මායිම්ව පිහිටන අතර බොහෝ විට තැනිතලා භූමි ප්‍රදේශයෙන් යුත් මෙහි අතරින් පතර පැන නැගුණු කඳුද දැකිය හැක. කල්තොට කඳු වැටිය සහ දියවින්න ඇල්ල උද්‍යානයේ උතුරු දෙසින් පිහිටන අතර ඒ සමග බඹරගල සහ රෙමිනිකොත පිහිටයි. මෙම උද්‍යානයේදී හොඳින් ජලය ගලා බසින රත්-දුඹුරු පැහැ පස මෙන්ම මිටියාවතේ අග හමුවන ජලය අඩුවෙන් ගලා බසින අළු පැහැති පසද හමුවේ.

මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන මෙම වනෝද්‍යානය වියලි කලාපයට අයත් ලෙස සැලකෙයි. පෙබරවාරි සිටි මාර්තු දක්වා කෙටි වියලි කාලයක් දක්නට ලැබෙන අතර ඇතැම් විට මෙය මාර්තු මැද සිට සැප්තැම්බර් අග දක්වා විහිදෙයි. නමුත් සැප්තැම්බර් මාසයේ ඇතිවන අන්තර් මෝසමෙන් මෙම වියළි තත්ත්වය මගහැරීයයි. නොවැම්බර් මස සිට ජනවාරි මැද දක්වා ඊසාන දිග මෝසමෙන් මෙම වනෝද්‍යානය පෝෂණය වේ. මෙහි වාර්ෂික වර්ෂාපතනය 1524mm පමණ වේ. වාර්ෂික උෂ්ණත්වය 27-28°C (81-82F) පමණ වන අතර සාපේක්ෂ ආද්‍රතාවය 70-82% දක්වා වේ.

තණ බිම්, පඳුරු කැලෑ සහ ගංගා ආශ්‍රිත ළඳු කැලෑවලින් සපිරි උඩවලව ජාතික වනෝද්‍යානය විශාල සතුන් ප්‍රමාණයකට වාසස්ථාන සපයයි. මෙම වනෝද්‍යානයේ ජෛව විවිධාත්මක වටිනාකම පිළිබඳ සලකා බැලීමේදී  මෙහි ශාක විශේෂ 94ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 21ක්, උභය ජීවී විශේෂ 12ක්, උරග විශේෂ 33ක්, කුරුල්ලන් විශේෂ 184 (සංක්‍රමණික විශේෂ 33) ක් සහ ක්ෂීරපායි විශේෂ 43ක් වාර්තා වී ඇත. මෙයට අමතරව සමනලුන් විශේෂ 135ක්ද සොයාගෙන ඇත.

මෙම කලාපය තුළ ශාක විවිධත්වයක් දැකිය හැකි වන්නේ වියලි ප්‍රදේශ මෙන්ම ජලාශය අවට තෙත් පරිසර පද්ධතියක්ද පවතින නිසාවෙනි. ජලාශ්‍රිතව වැවෙන කුඹුක් (Terminalia arjuna) සහ මැන්ඩෝරා (Hopea cordifolia) වැනි ශාක වලට අමතරව බුරුත (Chloroxylon swietenia), මිල්ල (Vitex altissimia), කොලං (Haldina cordifolia), කළුවර (Diospyros ebenum), කුණුමැල්ල (Diospyros ovalifolia), සහ කෝන් (Schleichera oleosa) වැනි ප්‍රමාණයෙන් විශාල ශාක දක්නට ලැබේ. එමෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති ශාක ලෙස නෙල්ලි (Phyllanthus emblica) හා බුලු (Terminalia bellirica) හමුවෙයි. එයට අමතරව උද්‍යානය තුළ තෘණ භූමි රාශියක් පිහිටා ඇති නිසා දමනීය (Grewia tiliifolia), ඉලුක් (Imperata cylindrica), මාන (Cymbopogon confertiflorum) සහ පොහොන් (Pennisetum polystachion) වැනි තෘණ වර්ගද දැකගත හැකිය. මීට අමතරව ආක්‍රමණික ශාක ලෙස හැඳින්වෙන ගඳපාන (Lantana camara), කූරටිය (Phyllanthus polyphyllus) හා පොඩිසිඤ්ඤොමරං (Chromolaena odorate) වැනි ශාක උද්‍යානයට තර්ජනයක්ව ඇත.

උඩවලව ජලාශය සහ වලවේ ගඟ වසර මුළුල්ලේ වන සතුන්ට අවශ්‍ය ජලය ලබාදීමත් එම පරිසර පද්ධතියෙහි පවත්නා ආහාර සුලභතාවයත් හේතුවෙන් උද්‍යානය තුළ දැනට අලින් (Elephas maximus) 500ක පමණ ගහණයක් දැකගත හැකි අතර අනෙකුත් සත්ත්ව විශේෂ රාශියක් ද මෙහි ජීවත් වේ. උද්‍යානය තුළ හමුවන විශාල ක්ෂීරපායින් අතරින් වල් ඌරා (Sus scrofa), තිත් මුවා (Axis axis ceylonensis), ගෝනා (Rusa unicolor), වල් මී හරකා (Bubalus bubalis) ප්‍රධාන වන අතර හිවලා (Canis aureus), කලවැද්දා (Paradoxurus hermaphroditus), රිලවා (Macaca sinica), හාවා (Lepus nigricollis), ඉත්තෑවා (Hystricomorph hystricidae) වැනි කුඩා ක්ෂීරපායි සතුන් ද ජීවත් වෙයි. බළල් පවුලට අයත් කොටියා (Panthera pardus kotiya), කොළ දිවියා (Felis rubginosa), හඳුන් දිවියා (Prionailurus viverrinus) යන සතුන් ද  වලසුන් (Melurus ursinus)ද උද්‍යානය තුළ හමුවේ. නමුත් මෙහි වලසුන් අඩු සංඛ්‍යාවක් සිටින බැවින් දැක ගැනීමට ඇති අවස්ථා ඉතා විරලය. එයට අමතරව මීයන් වර්ග 05ක්, සර්ප විශේෂ 30ක්, මුගටි විශේෂ 03ක් සහ සමනල විශේෂ 50ක් පමණද උද්‍යානය තුළදී හමුවේ. උරග විශේෂ අතර කටුසු විශේෂ කිහිපයක් සහ හැල කිඹුලා (Crocodylus palustris), කබරගොයා (Varanus salvator) සහ තලගොයා (Varanus bengalensis) වේ.

උද්‍යානය තුළ හමුවන පක්ෂ විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වන හබන් කුකුළා (Galloperdix bicalcarata), රතු මුහුණැති මල් කොහා (Phaenicophaeus pyrrhocephalus), අළු කෑදැත්තා (Ocyceros gingalensis), වලි කුකුළා (Gallus lafayettii) විශේෂත්වයක් ගන්නා අතර පොරෝ දෑකැත්තා (Anthracoceros coronatus), තඹසේරුවා (Dendrocygna javanica), ළය රන් බටගොයා (Treron bicinctus) හා පෙරළි කොන්ඩකුස්සා (Nisaetus cirrhatus) යන පක්ෂීන්ද දක්නට ලැබේ. උඩවලව හා මව්ආර ජලාශයන් ආශ්‍රිතව දියකාවුන් (Phalacrocorax niger) වැනි ජලජ පක්ෂීන් සුලබව දැකගත හැකිය.

උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටා ඇති භූමිය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. ගජබා රජු විසින් නීලමහා යෝධයාට ලබා දුන් ගම්වරයක් ලෙසින් වලව මිටියාවතේ පිහිටි සුන්දර කල්තොට ප්‍රදේශය ප්‍රචලිතය. නීලමහා යෝධයා මෙම ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු කළ බවට සාක්ෂිද වේ. මෙම උද්‍යානය තුළ පිහිටි සීනුගල, මුවංපැලැස්ස සහ නෑබඩ අතීතයේදී සරුසාර ගම්මාන ලෙස පැවතී ඇත. වෙහෙරමංකඩ හා වෙහෙරගොල්ල ප්‍රදේශයෙන් හමුවූ  පෞරාණික ගල්කණු හා නටබුන් මගින් එම ප්‍රදේශයේ ජනාවාස පැවැති බව තහවුරු වෙයි.

උඩවලව ජාතික වනෝද්‍යානය තේමා කර ගනිමින් 2007 වර්ෂයේදී ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් මුද්දර පෙළක් නිකුත් කරන ලදී. මෙම මුද්දර කට්ටලය රු.5, රු.15, රු.40 සහ රු.45 බැගින් වූ මුද්දර හතරකින්ද සිහිවටන පත්‍රිකා දෙකකින්ද මුල් දින කවරයකින්ද සමන්විත විය. උඩවලව ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය විදහා දැක්වෙන පරිදි මේ මුද්දර කට්ටල නිර්මාණය කර ඇත.

මෙහි රු.5 වටිනාකම සහිත මුද්දරය සඳහා උඩවලව වනෝද්‍යානයේ දැකගත හැකි වන වල් මී හරක් රංචුවක් (Water Buffaloes – Bubalus bubalis) යොදාගෙන ඇත. රු.15 මුද්දරයේ තණ බිමක සිටිනා අලි රංචුවක් (Herd of Elephants – Elephas maximus) නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් දැක ගත හැකි වන ක්ෂීරපායි සතෙකු වන රත් මුගටියා/හෝතඹුවා (Ruddy Mongoose – Herpestes smithii) රු.40 මුද්දරය සඳහා යොදා ගෙන ඇත. රු.45 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ අළු වඳුරන් රංචුවක (Common Langur – Presbytis entellus) රූපයකි.

මුද්දර පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය2007.10.31
සැලසුම්කරුසුදත් ජයවර්ධන (රු.5, රු.45 මුද්දර සහ රු.50 සිහිවටන පත්‍රිකාව)
පුලස්ති එදිරිවීර (රු.15, රු.40 මුද්දර සහ රු.55 සිහිවටන පත්‍රිකාව)
ප්‍රමාණය40mm × 30.769mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 100 බැගින්
සිදුරු ප්‍රමාණය13 × 13
මුද්‍රණකරුරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
භාවිතා කළ වර්ණහතරයි
කඩදාසි102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි 
මැලියම්PVA
මුද්‍රණය කළ ප්‍රමාණය
 
    
රු.5.00 – 1,000,000
රු.15.00 – 750,000
රු.40.00 – 500,000
රු.45.00 – 500,000

නාමාවලි අංක

රු.5 මුද්දරය (මී හරකා)Sg:LK 1914, Mi:LK 1665A, Sn:LK 1628, Yt:LK 1618, WAD:LK049.07
රු.15 මුද්දරය (ශ්‍රී ලංකා අලියා)Sg:LK 1915, Mi:LK 1666A, Sn:LK 1629, Yt:LK 1619, WAD:LK050.07
රු.40 මුද්දරය (හෝතඹුවා)Sg:LK 1916, Mi:LK 1667A, Sn:LK 1630, Yt:LK 1620, WAD:LK051.07
රු.45 මුද්දරය (අළු වඳුරා)Sg:LK 1917, Mi:LK 1668A, Sn:LK 1631, Yt:LK 1621, WAD:LK052.07
රු.50 සිහිවටන පත්‍රිකාවSg:LK MS1918a, Mi:LK BL106, Sn:LK 1631a, Yt:LK BF98, WAD:LK050MS.07
රු.55 සිහිවටන පත්‍රිකාවSg:LK MS1918b, Mi:LK BL107, Sn:LK 1630a, Yt:LK BF99, WAD:LK052MS.07

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *