ශ්‍රී ලංකාවේ විශාලතම සහ පැරණිතම ජාතික රක්ෂිතය වන විල්පත්තුව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත.
මෙය 1905 වර්ෂයේදී විල්පත්තු වනජීවී අභයභූමිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන්පසු 1938 වර්ෂයේදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. එමෙන්ම 2013 වර්ෂයේදී විල්පත්තු ජාතික වනෝද්‍යානය රැම්සාර් සම්මුතිය යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1317 (හෙක්ටයාර් 131,655) පුරා පැතිර පවතින අතර මුහුදු මට්ටමේ සිට මීටර් 240 තරම් උසක් දක්වා විහිදී ඇත. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්ක වලට මායිම් වී ඇති මෙම වනෝද්‍යානය පුත්තලම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක පුරා පැතිර පවතියි. එමෙන්ම උතුරින් මෝදරගම් ආරු සහ අරුචි ආරු යන ගංගාවලින්ද, දකුණින් කලා ඔයෙන් සහ බටහිරින් වයඹ දිග වෙරළ තීරයෙන්ද මායිම් වෙයි. බටහිර විල්පත්තු අභයභූමිය සහ මාවිල්ලු වන රක්ෂිතයෙන් උතුරු මායිම ආවරණය වන අතර, තබ්බෝව අභයභූමිය එහි දකුණු මායිමට යාබදව පිහිටා ඇත.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ භූ දර්ශනය තැනිතලාමය වන අතර වියළි සදාහරිත වනාන්තරයකින් සහ පතනශීලී කටු පඳුරු වලින් වැසී පවතියි. මෙහි වඩාත් කැපී පෙනෙන භූ ලක්ෂණ වන්නේ “විල්ලු” නමින් හඳුන්වන වැලි කඳු හෝ තැනිතලා වලින් වටවූ ඍතුමය හෝ ස්ථිර විල් 40ක් පමණ දක්නට ලැබීමයි. විල්ලු යනු, ඝන කැලෑ වනාන්තර මධ්‍යයේ විවෘත තණකොළවලින් වටවී ඇති වැසි ජලයෙන් පිරී පවතින නොගැඹුරු ස්වභාවික විල්ය. ඒවාට ජලය ඇතුල්වීමක් හෝ පිටවීමක් නොමැත. විල්ලු වල ප්‍රමාණය හෙක්ටයාර 10 සිට 160 දක්වා පමණ වන අතර ඒවායෙහි මිරිදිය, කිවුල් ජලය හෝ ලවණ ජලය අඩංගු විය හැක. විල්පත්තුව හෙවත් විල් වලින් පිරුණු පත්තුව/ප්‍රදේශය යන නම සෑදී ඇත්තේ එලෙසිනි.
මෙම වනෝද්‍යානයේ දේශගුණය ශ්‍රී ලංකාවේ වියළි හා අර්ධ ශුෂ්ක කලාපයට සමාන වන අතර වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මි.මී. 1000කි. මෙහි තෙත්(මෝසම්) සහ වියළි කාලයන් මාරුවෙන් මාරුවට දක්නට ලැබෙන අතර විල්ලූවල ජලය පිරි තිබෙන ප්‍රමාණය නිරීක්ෂණය කිරීමෙන් උද්‍යානය පුරා පවතින කාලගුණික තත්ත්වයන් වඩාත් හොඳින් පැහැදිලි කළ හැකිය. වියලි කාලය ජනවාරි සිට පෙබරවාරි දක්වාත් මැයි සිට සැප්තැම්බර් දක්වාත් පවතින අතර වර්ෂා කාලය සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වාත් මාර්තු සිට මැයි දක්වාත් පවතියි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධාත්මක වටිනාකම පිළිබඳ සලකා බැලීමේදී මෙහි ශාක විශේෂ 621ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 23ක්, උභය ජීවී විශේෂ 17ක්, උරග විශේෂ 57ක්, කුරුල්ලන් විශේෂ 253ක් සහ ක්ෂීරපායි විශේෂ 45ක් වාර්තා වී ඇත.
ශාක විශේෂ පිළිබඳව සලකා බැලීමේදී දැවමය වටිනාකමක් ඇති පලු (Manilkara hexandra), බුරුත (Chloroxylon swietenia) සහ කළුවර (Disopyros ebenum) වැනි විශාල ශාකද, පතනශීලී කටුපඳුරුද, වෙරළබඩ කරදිය වගුරුබිම් සහ ලඳු කැලෑද, විල්ලු වටා පිහිටා ඇති කුඩා තෘණ බිම් ද ඇත. එමෙන්ම කලා ඔය මෝය ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන වනාන්තරවලින් එකකි.
මෙම වනෝද්‍යානය කොටියා (Panthera pardus kotiya), වලසා (Melursus ursinus), අලියා (Elephas maximus), තිත් මුවා (Spotted Deer), ඕලු මුවා (Barking Deer), ගෝනා (Samber Deer), වල් ඌරා (Wild Boar) වැනි ක්ෂීරපායින්ටද ගැට කිඹුලා (Crcodylus palustris), තාරකා ඉබ්බා (Geochelone elegans) සහ කිරි ඉබ්බා (Lissemys punctata) වැනි උරගයින්ටද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරා (Dugong dugon) සහ හරිත කැස්බෑවා (Chelonia mydas) වැනි ජීවීන්ට ද වාසස්ථාන සපයයි. එමෙන්ම සංක්‍රමණික පක්ෂීන් මෙන්ම ශ්‍රී ලංකා වළි කුකුලා (Gallus lafayetti), හීන් කොට්ටෝරුවා (Megalaima rubricapillus) සහ අලු කෑදැත්තා (Ocyceros gingalensis) වැනි ආවේණික පක්ෂි විශේෂ විශාල ප්‍රමාණයක් මෙම වනෝද්‍යානයෙන් වාර්තා වී ඇත.
මෙහි ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම සලකා බැලීමේදී බෞද්ධ ආරාම, ස්ථූප සහ පාෂාණ සෙල්ලිපි වැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නටඹුන් මෙන්ම පුරාණ වාරිමාර්ග පද්ධති බොහොමයක්ද උද්‍යානය පුරා දැකගත හැකිය. එමෙන්ම පුරාවෘත්ත සහ ඓතිහාසික සිද්ධීන් බොහොමයක් උද්‍යානය හා ඒ අවට පරිසරය සමග සම්බන්ධ වේ. විජය රජු ගොඩබැසියා වූ තම්මැන්නා නුවර විල්පත්තු වනෝද්‍යානයේ කුදිරමලේ තුඩුව සහ මෝදරගම් ආරු මුඛය ආශ්‍රිතව පිහිටි බව කියනු ලැබේ.ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් වසර 20කට ආසන්න කාලයක් සංචාරකයන් සඳහා ප්‍රවේශය අවහිර කර තිබූ නමුත් යුද්ධය අවසන් වීමෙන් පසු 2010 වර්ෂයේදී නැවත විවෘත කරන ලදී.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය තේමා කර ගනිමින් 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් මුද්දර පෙළක් නිකුත් කරන ලදී. මෙම මුද්දර කට්ටලය රු.5, රු.10, රු.20 සහ රු.50 බැගින් වූ මුද්දර හතරකින්ද සිහිවටන පත්‍රිකා හතරකින්ද මුල් දින කවරයකින්ද සමන්විත විය. ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති මෙම මුද්දර පෙළ මුද්දර එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය අයිතම වලින් එකකි.
මෙහි රු.5 වටිනාකම සහිත මුද්දරය සඳහා විල්පත්තු වනෝද්‍යානය පුරාවට දැකගත හැකි වන ඕලුමුවා (Barking deer – Muntiacus muntjak) යොදාගෙන ඇත. රු.10 මුද්දරය කුසඇලි මුහුදු උකුස්සා (White-bellied Sea Eagle – Haliaeetus leucogaster) නිරූපණය කරයි. ගෝලීය වශයෙන් තර්ජනයට ලක් වූ ක්ෂීරපායි සතෙකු වන ස්ලොත් වලසා (Sloth bear – Melursus ursinus) රු.20 මුද්දරය සඳහා යොදා ගෙන ඇත. රු.50 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ කොටියෙකුගේ (Leopard – Panthera pardus) රුවකි.
මුද්දර පිළිබඳ විස්තර
නිකුත් කළ දිනය | 2006.01.04 |
සැලසුම්කරු | කැලුම් ගුණසේකර |
ප්‍රමාණය | 60mm ‹ 25mm |
මුද්‍රණ ක්‍රමය | ඔෆ්සෙට් ලිතෝග්‍රැපි |
පත් සැකැස්ම | පත්‍රිකාවක මුද්දර 50 බැගින් |
සිදුරු ප්‍රමාණය | 12 ‹ 13 1/2 |
මුද්‍රණකරු | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
භාවිතා කළ වර්ණ | හතරකි |
කඩදාසි | 102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි |
මැලියම් | PVA |
මුද්‍රණය කළ ප්‍රමාණය | රු.5.00 – 1,000,000 |
රු.10.00 – 2,000,000 | |
රු.20.00 – 2,000,000 | |
රු.50.00 – 500,000 |
නාමාවලි අංක
රු.5 මුද්දරය (ඕලු මුවා) | Sg:LK 1762, Mi:LK 1520, Sn:LK 1534, Yt:LK 1473, WAD:LK001.06 |
රු.10 මුද්දරය (කුස ඇලි මුහුදු උකුස්සා) | Sg:LK 1763, Mi:LK 1521, Sn:LK 1535, Yt:LK 1474, WAD:LK002.06 |
රු.20 මුද්දරය (ස්ලොත් වලසා) | Sg:LK 1764, Mi:LK 1522, Sn:LK 1536, Yt:LK 1475, WAD:LK003.06 |
රු.50 මුද්දරය (කොටියා) | Sg:LK 1765, Mi:LK 1523, Sn:LK 1537, Yt:LK 1476, WAD:LK004.06 |
රු.5 සිහිවටන පත්‍රිකාව (ඕලු මුවා) | Sg:LK MS1766a, Mi:LK BL98, Sn:LK 1534a, Yt:LK BF90, WAD:LK001MS.06 |
රු.10 සිහිවටන පත්‍රිකාව (කුස ඇලි මුහුදු උකුස්සා) | Sg:LK MS1766b, Mi:LK BL99, Sn:LK 1535a, Yt:LK BF91, WAD:LK002MS.06 |
රු.20 සිහිවටන පත්‍රිකාව (ස්ලොත් වලසා) | Sg:LK MS1766c, Mi:LK BL100, Sn:LK 1536a, Yt:LK BF92, WAD:LK003MS.06 |
රු.50 සිහිවටන පත්‍රිකාව (කොටියා) | Sg:LK MS1766d, Mi:LK BL101, Sn:LK 1537a, Yt:LK BF93, WAD:LK004MS.06 |
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)