New Issue: Sri Lanka Law College 150th Anniversary

To commemorate 150th Anniversary of Sri Lanka Law College, a stamp and FDC was issued on 1st March 2024 at Law College, Colombo.

The Stamp and FDC can be purchased online

Stamp – https://stamps.slpost.gov.lk/product/6101

FDC – https://stamps.slpost.gov.lk/product/6105

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 150වන සංවත්සරය නිමිති කරගනිමින් 2024 මාර්තු මස 01වන දින ශ්‍රී ලංකා මුද්දර කාර්යංශය මඟින් මුහුණත වටිනාකම රු.50ක් වූ සමරු මුද්දරයක් මෙන්ම මුල්දින කවරයක්ද නිකුත් කරන ලදී.

හල්ෆ්ට්ස්ඩොර්ෆ් (Hulftsdorp) පෙදෙස හෙවත් හල්ෆ්ට්ගේ ගම්මානය මෙරට නීති ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයයි. 1956දී කොළඹ අත්පත් කරගැනීමේ සටනේදී මිය ගිය ලන්දේසි කපිතාන්වරයෙකු වූ ජෙරාඩ් පීටර්සන් හල්ෆ්ට්ගේ නමින් හල්ෆ්ට් යන්නද, ඉංග්‍රීසි බසින් කුඩා ගම්මානය යන අර්ථ දෙන ඩොර්ප් (dorp) යන වදනද එක්ව මෙම නම සෑදී ඇත. පසුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැල් මෙම ප්‍රදේශයට ගෙන ඒමට කටයුතු කළ බැවින් “අලුත් කඩේ” යන නාමය බිහිව ක්‍රමයෙන් ප්‍රචලිත වී තිබේ.

මෙරට උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණ, මහාධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ යන සියල්ලක්ම මෙහි පිහිටා තිබේ. එපමණක් නොව පරිපාලන ආයතනයන් වන අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය පවා පිහිටා ඇත්තේ මෙහිය.

යුක්තිය පසිඳලන එකී සියලුම ආයතනයන් වෙත ඇතුළත්වීමේ ද්වාරය ලෙස ක්‍රියා කරන්නේ 1874 වසරේදී සිලෝන් ලෝ කොලේජ් (Ceylon Law College) නමින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. එම අභිමානවත් මෙහෙවරෙහි 150 වන සැමරුම මෙම වසරට (2024) යෙදී තිබේ.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ මෙරට නීති අධ්‍යාපනය වඩාත් විධිමත් ආකාරයකින් ක්‍රියාත්මක වීම ඇරඹියේ 1833 අධිකරණ ප්‍රතිසංස්කරණ යටතේය. ඒ අනුව හැකියාව, දැනුම, දක්ෂතාව සහ යහපත් නාමයක් (Good Reputation) සහිත අයවළුන් සිය සේවාදායකයන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටිය හැකි බලයෙන් යුත් අධිනීතිඥයන් සහ පෙරකදෝරුවන් ලෙස බඳවාගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු විය.

මෙහිදී නීති අධ්‍යාපනය ලබාදෙන ලද්දේ මුළුමනින්ම පාහේ ආධුනික ක්‍රමයට අනුවයි. නීති සිසුවෙක් වෘත්තිමය නීතිඥයකු යටතේ වසර කිහිපයක් සේවය කරමින් සිය පුහුණුව ලබාගතයුතු වූ අතර ඒ වෙනුවෙන් එම නීතිඥයාට ගෙවීමක් කළ යුතු විය. මෙම ක්‍රමයේ පැවැති අඩුපාඩු වළක්වාලමින් විධිමත් නීති අධ්‍යාපනයක් ලබාදෙනු පිණිස 1873 අංක 19 දරන ආඥා පනත යටතේ නීති අධ්‍යාපන සභාව (Council of Legal Education) ස්ථාපනය කෙරිණි. ඒ යටතේ නීති විද්‍යාලය පිහිටුවනු ලැබිණි. එවකට මෙරට අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස කටයුතු කළ ප්‍රකට නීතිවේදියකු වූ ශ්‍රීමත් එඩ්වඩ් ෂෙපර්ඩ් ක්‍රීසි මහතාගේ දිගු දැක්ම අනුව යමින් 1874 වසරේ සිට නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව නීති අධ්‍යාපනයේ විධිමත්භාවය ඇතිකරමින් අධිනීතිඥයන් සහ පෙරකදෝරුවන් බඳවාගැනීම පාලනය කරනු පිණිස 1889 අංක 1 දරන උසාවි ආඥාපනත යටතේ නීති සම්පාදනය කරන ලද්දේ එවකට නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා විසිනි. 1900 අංක 02 දරන ආඥා පනත මඟින් නීති අධ්‍යාපන සභාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව (Incorporated Council of Legal Education) බවට පත්කරන ලද අතර එමඟින් එය රජයෙන් කිසිදු ප්‍රතිපාදනයක් ලබා නොගන්නා මූල්‍යමය වශයෙන් ස්වාධීන ආයතනයක් බවට පත්විය. 1897 වසරේදී නීති සිසුන් සඳහා පුස්තකාල පහසුකම් ලබාදෙන ලදී. 1894 වසරේදී නීති ශිෂ්‍ය සංගමය පිහිටුවනු ලැබිණි.

ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙත්ම නීති විද්‍යාලය සඳහා වන ස්ථිර ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පැනනැඟිනි. ඒ අනුව 1911 වසරේදී එවකට අග්‍රවිනිශ්චයකාරයා වූ ශ්‍රීමත් ජේ. ටී. හචින්සන් මහතා විසින් නීති විද්‍යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තබන ලදී. එදා සිට අද තෙක් වසර 122 ක් නීති විද්‍යාලය සඳහා සෙවණ දෙන්නේ එම ගොඩනැඟිල්ලයි.

මුල් වකවානුවේ නීති අධ්‍යාපන සභාවේ රෙජිස්ටාර්වරයා නීති විද්‍යාලයේ අධ්‍යයන සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබලන ලදී. 1935 වසරේදී නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීමේ වගකීම නීති අධ්‍යාපන සභාවේ රෙජිස්ටාර්වරයාට පැවරුණු අතර එසේ පත්වූ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ බ්‍රිටෝ මුතුනායගම් මහතායි. නීති විද්‍යාලයේ දේශකයන් වශයෙන් අධිකරණ කටයුතු වල නියැළෙන පළපුරුදු නීතිඥවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද කටයුතු කරයි.

කාන්තාවන් සඳහා නීති අධ්‍යාපනය ලබාදීම 1934 වසරේදී ආරම්භ කරන ලද අතර කාලයක පටන් පැවැති අවශ්‍යතාවක් සපුරාලමින් නීති ශිෂ්‍ය නේවාසිකාගාරය (Voet Inn) 1949 වසරේදී ආරම්භ කෙරිණි. 1963 වසරේදී වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයේ සාමාන්‍ය නීති ප්‍රවේශ විභාග ක්‍රමය ස්ථාපිත කෙරිණි.

1973 අංක 44 දරන යුක්තිය පසිඳලීමේ පනත මඟින් අධිනීතිඥයන් සහ පෙරකදෝරුවන් යන අංශ දෙකම එක් කොට ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ යන පොදු නාමය භාවිතය ආරම්භ කරනු ලැබිණි.

නීති ප්‍රවේශ විභාගයෙන් සමත්ව නීති විද්‍යාලයට ඇතුළත්වන සිසුන්ට අමතරව මෙරට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් බිහිවන සියලුම නීතිවේදී උපාධිධාරීන්ද වෘත්තිය මට්ටමේ නීතිඥයන් බවට පත්කරලනු ලබන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය ගෙවී ගිය වසර 150ක කාලය තුළ මෙරට නීති ක්ෂේත්‍රය, දේශපාලන ක්ෂේත්‍රය සහ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පවා කැපී පෙනුණු චරිත ගණනාවක් බිහි කොට ඇත. මෙරට ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවන්ය. ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ශ්‍රීමත් සිරිල් ද සොයිසා, ශ්‍රීමත් ලලිත රාජපක්ෂ, ගාමිණී දිසානායක යනාදී කීර්තිධර දේශපාලනඥයන් ගණනාවක් ද නීති විද්‍යාලයේ ආදි සිසුන් වූහ. එමෙන්ම මෙරට පත්වූ සියලුම ශ්‍රී ලාංකික අග්‍රවිනිශ්චයකාරවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අනෙකුත් අධිකරණ විනිශ්චයකාරවරුන් මෙන්ම සියලුම ලාංකික නීතිපතිවරුන් ද , නීතිඥ සංගම් සභාපතිවරුන් ද ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් වෘත්තිය නීති අධ්‍යාපනය ලැබූවන් ය.

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි. https://divaina.lk/150-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1-%E0%B7%81%E0%B7%8A%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82/)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *