ශ්‍රී ලංකාවේ සම්භාවනීය පුද්ගලයෝ: ආනන්ද සමරකෝන්

ආනන්ද සමරකෝන් මහතා 1911 ජනවාරි මස 13 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක වටරැක ලියන්වල නම් ග්‍රාමයේදී උපත ලැබීය. ඔහුගේ පියා වන සැමුවෙල් සමරකෝන් මහතා එවකට යුරෝපීයයන් සතුව පැවති මතුරට සමූහ ව්‍යාපාරයට අනුබද්ධ වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් කටයුතු කළ අතර මව වන ඩොමින්ගා පීරිස් මහත්මිය කෝට්ටේ ක්‍රිස්තියානි පාසලක (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය) ගුරුවරියක් විය. උපතින්ම ක්‍රිස්තියානු භක්තිකයෙකු වූ මෙතුමාට දෙමාපියන් විසින් ලබා දුන් නම වනුයේ “එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන්” ය. ඔහු පිරිමි ළමුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා විය.

ආනන්ද සමරකෝන් මහතා සිය ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල වෑවල ගම්මානයේ පිහිටි රජයේ පාසලෙන් සහ එංගලන්ත සභාවේ මිෂනාරිවරුන් විසින් ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම පාසල් දෙකින් එකක් වන කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙනි. ඉන්පසු 1929 මාර්තු මාසයේදී කොළඹ පවත්වන ලද ඊ.ඇස්.ඇල්.සී. (English School Leaving Certificate) විභාගයට පෙනී සිටි ඔහු ලිවීම, ඉංග්‍රීසි, අංක ගණිතය යන අනිවාර්ය විෂයයන් සමඟ භූගෝල විද්‍යාව සහ චිත්‍ර කර්මය යන උභය විෂයන්ගෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගන්නා ලදී. ඉන් පසුව ඔහු 1934 වර්ෂයේදී චිත්‍ර සහ සංගීත ගුරුවරයකු වශයෙන් කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙහි ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ විය.

1934 වර්ෂයේදී හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ මුල්ගල තැබීම සඳහා ඉන්දියාවේ මහා කවියකු වන රවින්ද්‍රනාත් තාගෝර් තුමා මෙරටට පැමිණෙන ලදී. එම අවස්ථාවේදී එතුමා සමඟ ගායන වාදන නර්තන ශිල්පීන් කණ්ඩායමක් ද පැමිණි අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කලා ප්‍රසංගයන් දැකබලා ගැනීම සඳහා අවස්ථාව සමරකෝන් මහතා වෙත උදා විය. එම කලා ප්‍රසංගයෙන් ප්‍රීතියට පත් වූ මෙතුමා ඉන්දියාවේ බෝලපූර්හි විශ්ව භාරතී විශ්ව විද්‍යාලයේ සංගීත අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තුවෙන් 1936 වර්ෂයේදී ඉන්දියාව බලා පිටත් විය. මෙහිදී රවින්ද්‍රනාත් තාගෝර් තුමා යටතේ සංගීතයත් චිත්‍ර කලාවත් හැදෑරීමේ භාග්‍ය මෙතුමාට හිමිවිය. විශ්ව භාරතී ශාන්ති නිකේතනයේදී නන්දලාල් බෝස් ඇදුරුතුමාගෙන් චිත්‍ර කලාවත් ශාන්ත දේවී ඝෝෂ් තුමාගෙන් සංගීත කලා නිපුණත්වයත් ලබාගන්නා ලදී. තුන් අවුරුදු පාඨමාලාවෙන් හය මාසයක ඉගෙනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි සමරකෝන් මහතා බුදුදහම වැළඳගත් අතර සිය මුල් නම අතහැර ආනන්ද සමරකෝන් යන නම භාවිතා කරන්නට විය.

ගාල්ල මහින්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක සංගීත සහ චිත්‍ර ගුරුවරයකු ලෙස සේවය කළ ආනන්ද සමරකෝන් මහතා රාජකාරී කටයුතුවලට අමතරව ගීත නිර්මාණය සහ තනු නිර්මාණයේ නිරත විය. 1939 වර්ෂයේදී ගී පද රචනය අරඹන මෙතුමා විසින් ලියන ලද පළමු ගීතය වන්නේ “ජන සැම මන අධිපතියෙනි තුති වේ” ගීතයයි. එවකට ලංකාවේ බොහෝ කලා නිර්මාණ ඉන්දියානු ආරක් ගත් නමුත් ආනන්ද සමරකෝන් මහතා විසින් දේශීය ජන සංගීතය ආශ්‍රයෙන් ගී රචනා කරන ලදී. එමෙන්ම එතුමා අතින් සරල වචන යෙදූ අලංකාර ගීත බිහිවිය. බැස සීත ගඟුලේ, එන්නද මැණිකේ, පුදමු මේ කුසුම්, ඇසේ මධුර සහ පොඩි මල් එතනෝ ආදී ගීත ඊට නිදසුන්ය. ආනන්ද සමරකෝන් මහතා මෙරට චිත්‍රපට සහ වේදිකා නාට්‍ය සඳහාද ගී රචනා කරන ලද්දේ සියලු කලා ක්ෂේත්‍රයන් තුළට දේශීයත්වය රැගෙන යමිනි.

ගීත නිර්මාණය සහ තනු නිර්මාණයට අමතරව එතුමා චිත්‍ර ඇඳීමේ කටයුතුද දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන 11ක් පමණ පවත්වන ලදී. එහිදී ඔහුගේ චිත්‍ර ඉහළ පිළිගැනීමකට ලක්විය. 1940 දශකයේ උත්තර භාරතයේ භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී එළිමහන් බිත්තියක් අලංකාර සිතුවම් වලින් වර්ණ ගන්වන ලදී. එම චිත්‍ර දුටු රතන්ජංකර් පඬිතුමා පවා පුදුමයට පත් වූ බව කියැවේ.

1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට නිදහස හිමිවන තුරුම ගායනා කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමත් සමග ජාතික ගීයක අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට විය. එබැවින් ලංකාවේ සංගීත කලාව දියුණු කිරීමේ අරමුණින් යුතුව පිහිටවනු ලැබූ ගාන්ධර්ව සභාව වෙත එම වගකීම භාරදුනි. ගාන්ධර්ව සභාව විසින් එම සඳහා තරගයක් පැවැත්වූ අතර එහිදී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත “නමෝ නමෝ මාතා” නම් ගීතය ජාතික ගීය වශයෙන් තෝරා ගන්නා ලදී. ආනන්ද සමරකෝන් මහතා එය රචනා කරන ලද්දේ 1940 වර්ෂයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයෙකුව සිටිනා කාලයේදීය. 1952 නොවැම්බර් 22 දින ජාතික ගීය සඳහා අනුමැතිය ලැබුණි.

කෙසේ නමුත් 1950 දශකයේදී “නමෝ නමෝ මාතා” ජාතික ගීයේ මුල් වචන අරභයා විවිධ මතභේදාත්මක අදහස් පලවිය. ජාතික ගීයේ ගණ වැරදි බැවින් නමෝ නමෝ යන්න වෙනුවට “ශ්‍රී ලංකා මාතා” යන වදන් එක් කරමින් 1961 වර්ෂයේදී ආනන්ද සමරකෝන් මහතාගේ අනුදැනුමකින් තොරව ජාතික ගීය වෙනස් කරන ලදී. එය එතුමා තුළ දැඩි සිත් තැවුලක් ඇති කිරීමට හේතු විය.

1962 අප්‍රේල් මස 05 වන දින, අවුරුදු 51දී නිසි ප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකර ගැනීමෙන් එතුමාගේ මරණය සිදුවිය. ආනන්ද සමරකෝන් මහතා මෙලොව අතහැර ගියද එතුමාගේ ගීත සහ නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීය වනු ඇත.

මුද්දර පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය1989.05.22
මුහුණත වටිනාකමශත 75 (රු. 0.75)
සැලසුම්කරුS.S. සිල්වා
ප්‍රමාණය29.85mm × 40.64mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 50 බැගින්
සිදුරු ප්‍රමාණය13
මුද්‍රණකරුසෙකියුරිටි ප්‍රින්ටර්ස්, මැලේසියාව (Security Printers, Malaysia)
භාවිතා කළ වර්ණමයුර නිල් (Cyan), මැජෙන්ටා, කහ, කළු
කඩදාසි102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි
මැලියම්ට්‍රොපිකල් ගම් (Tropical gum)
මුද්‍රණය කළ ප්‍රමාණය1,000,000
නාමාවලි අංකStanley Gibbons LK 1064
Michel LK 863
Stamp Number LK 913
Yvert et Tellier LK 871

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *