කුමන ජාතික වනෝද්‍යානය

කුමන ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වැදගත්ම හා ජනප්‍රියම කුරුලු පාරාදීසයයි. මෙහි දක්නට ලැබෙන පක්ෂි විවිධත්වය හේතුවෙන් මෙම වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධය.

මෙම උද්‍යානය ශ්‍රී ලංකාවේ කුරුල්ලන් සඳහා ඉතා වැදගත් අභිජනන මධ්‍යස්ථානයක් වූ බැවින් 1938 වර්ෂයේදී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්පසුව 1970 ජනවාරි 20වන දින වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන කෙරිණි. මුල් කාලයේදී “නැගෙනහිර යාල ජාතික උද්‍යානය” ලෙස හැඳින්වුනු මෙහි නම “කුමන ජාතික වනෝද්‍යානය” ලෙස වෙනස් කරනු ලැබුවේ 2006 සැප්තැම්බර් මස 09වන දිනයි. එමෙන්ම 2010 ඔක්තෝබර් 29වන දින කුමන ජාතික වනෝද්‍යානය රැම්සාර් සම්මුතිය යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

කුමන ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිගට වන්නට අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇත. එය ප්‍රධාන වශයෙන් පොතුවිල් මැතිවරණ කොට්ඨාශයට සහ පානම ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් වේ. මෙහි විශාලත්වය 1969 වර්ෂයේදී හෙක්ටයාර 265.3 ක් වූ අතර 1970 වර්ෂයේදී එය හෙක්ටයාර 17 863.4 ක් විය. අනතුරුව 2006 වර්ෂය වන විට කුමන ජාතික වනෝද්‍යානය හෙක්ටයාර 35 665 ක් දක්වා පුළුල් වී පැවතිණ. මෙම වනෝද්‍යානය භෞතික වශයෙන් යාල ජාතික වනෝද්‍යානයෙන් වෙන් වන්නේ කුඹුක්කන් ඔයෙනි. නැගෙනහිර දෙසින් මහ සයුරට මායිම්ව ඇති මෙම උද්‍යානය කුඩුම්බිගල, ඔකඳ සිට ආරම්භ වී කුඹුක්කන් ඔය දක්වා විහිදී ඇත. එතැන් සිට පැතිර පවතින්නේ යාල ජාතික වනෝද්‍යානයේ අංක 02 කොටසයි.  එබැවින් මුල් කාලයේදී මෙය යාල නැගෙනහිර උද්‍යානය ලෙසද හඳුන්වනු ලැබීය.

කුමන ජාතික වනෝද්‍යානය තුළ උස් කඳු මුදුන් පිහිටා නැති නමුත් එහි තැනින් තැන කුඩුම්බිගල, බඹරගස්තලාව, බාගුර, කෝන්ගල, කිරි පොකුණු හෙළ වැනි සුන්දර ගල් කඳු කිහිපයක් දැකගත හැකිය. මෙම වනෝද්‍යානයේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 200ක් පමණම “කුමන විල්ලුව” යනුවෙන් හඳුන්වනු ලබන කඩොලාන වගුරකින් නිර්මාණය වී ඇත. මෙය කුඹුක්කන් ඔය මෝය ආශ්‍රිතව නිර්මාණය වී ඇති බැවින් එය වරින් වර මුහුදු ජලයෙන් යටවීම සාමාන්‍ය සිදුවීමකි. මෙයට අමතරව උද්‍යානය තුළ කුරුළු විශේෂවල පැවැත්මට ඉතා උචිත වන ආකාරයෙන් නිර්මාණය වූ ස්වාභාවික වැව් කිහිපයක්ම දැකගත හැකිය. කුඩාවිල වැව, කොටළිඳ වැව, බක්මී වැව, ඕකන්ද, තුන්මුල්ල, දිවුල්පල්ලම, එරිමිනියා වැව සහ අලුත් වැව ඒ අතරින් කිහිපයකි. එමෙන්ම දේශීය සහ සංක්‍රමණික පක්ෂීන්ගේ දිවි පැවැත්ම සඳහා නොමද දායකත්වයක් සපයන අඩි හතකට (මීටර 2) නොවැඩි ගැඹුරකින් යුතු කලපු 20ක් පමණ මෙහිදී දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පමණ උසකින් පිහිටා ඇත. මෙහි දේශගුණය ශ්‍රී ලංකාවේ වියළි කලාපයට සමාන වන අතර වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මි.මී.1300ක් පමණ වේ. වාර්ෂික උෂ්ණත්වය 27°C කි.

කුමන ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධාත්මක වටිනාකම පිළිබඳ සලකා බැලීමේදී එය බොහෝ විට යාල ජාතික වනෝද්‍යානයට සමාන වෙයි. නමුත් මෙම උද්‍යාන දෙක සංසන්දනය කර බලන විට කුමන ජාතික උද්‍යානය ගොඩබිම් පරිසර පද්ධතියකදී දක්නට නොලැබෙන ජලාශ්‍රිත පරිසර පද්ධති රාශියකින් සමන්විත වේ. ඒ හේතුවෙන් මෙහිදී උභය ජීවීන්ගේ මෙන්ම ජලාශ්‍රිත ජීවීන්ගේ වැඩි විවිධත්වයක් දැකගත හැකිය. මෙහි නැගෙනහිර සීමාව මුහුදින් මායිම් වී ඇති බැවින් ඒ ආශ්‍රිත ශාක සහ සත්ත්ව විශේෂ ද දැකගත හැකිය. කුමන ජාතික වනෝද්‍යානයේදී ශාක විශේෂ 223ක්, ආවේණික, නේවාසික සහ සංක්‍රමණික පක්ෂීන්ගෙන් සමන්විත පක්ෂි විශේෂ 430කට වැඩි ප්‍රමාණයක් මෙන්ම තර්ජනයට ලක් වී ඇති උරග විශේෂ කිහිපයක් මෙන්ම උභය ජීවී, ක්ෂීරපායි සහ මත්ස්‍ය විශේෂ විශාල ප්‍රමාණයක්ද දැකගත හැකිය.

ශාක විවිධත්වය පිළිබඳව සලකා බැලීමේදී මෙම වනෝද්‍යානයේදී තණභූමි, වෙරලාශ්‍රිත ශාක, නිවර්තන කටු පඳුරු වලින් ගහන වනාන්තර, ගංගාධාර ආශ්‍රිත ශාක සහ මෝය ආශ්‍රිත කඩොලාන ශාක ආදී ලෙස විශාල විවිධත්වයක් දැකගත හැකිය. මෙම උද්‍යානයේදී කෝන් (Sheleichera oleosa), හල්මිල්ල (Berrya cordifolia), තිඹිරි (Diospyros malabarica), මලිත්තන් (Salvadora persica), පලු (Manilkara hexandra), බුරුත (Chloroxylon sweietenia), නුග (Ficus benghalensis), බෝ (Ficus religiosa) සහ ඇහැළ (Cassia fistula) වැනි විශාල ශාකද පුස්වැල් (Entada pursaetha), නියගලා (Gloriosa superba) වැනි වැල් වර්ගද පහසුවෙන් දැකගත හැක. එමෙන්ම කුමන විල්ලූව ආශ්‍රිතව හම්බු පන් (Typha angustifolia) සහ කිරල (Sonneratia caseolaris) වැනි ශාකද කුඹුක්කන් ඔය දෙපස කුඹුක් (Terminalia arjuna) ශාකද බහුලය. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වරා (Calotropis procera), කටු ඉකිළි (Acanthus ilicifolius), බිං තඹුරු (Ipomoea pescaprae) ශාකද, මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල සරුවට වැඩුණු ඕලු (Nymphaea nouchali), නෙළුම් (Nelumbo nucifera), කෙකටිය (Aponogeton sp.) සහ දිය නිදිකුම්බා (Neptunia oleracea) වැනි ජලජ ශාක ද දැකගත හැකිය.

කුමන ජාතික වනෝද්‍යානයේ ඇති ප්‍රධානතම වැදගත්කම වන්නේ මෙහිදී ආවේණික, නේවාසික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ විශාල ප්‍රමාණයක් දැකගත හැකි වීමයි. සාමාන්‍යයෙන් මෙහිදී කුරුලු නිරීක්‍ෂකයකුට කුරුළු විශේෂ 200කට අධික ප්‍රමාණයක් පහසුවෙන් නැරඹීමට හැකිය. අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළදී පක්ෂි විශේෂ දස දහස් ගණනක් කුමන විල්ලුව සහ ඒ අවට වූ වගුරු භූමි ප්‍රදේශයට බිත්තර දැමීම සඳහා ඇදී එයි. විශාල රංචු වශයෙන් එලෙස පැමිණෙන දේශීය ජලචර පක්ෂි විශේෂ ලෙස කරවැල් කොකා (Ardea purpurea), ලොකු සුදු කොකා (Casmerodius albus) සහ කණ කොකා (Ardeola grayii) හැඳින්විය හැක. එයට අමතරව සංචාරක පක්ෂීන් විශාල සංඛ්‍යාවක්ද කුමන උද්‍යානය කරා ඇදී එයි. මෙහිදී පොදුවේ දැකගත හැකි පක්ෂීන් අතර දුර්ලභ පක්ෂියෙකු වන අලිමානාවා (Ephippiorhynchus asiaticus) මෙන්ම, හීන් මානවා (Leptoptilos javanicus), ලතුවැකියා (Mycteria leucocephala), අලු කොකා (Ardea cinerea), පොදු දම් කිතලා (Porphyrio porphyrio), පාදිලි මානාවා (Ciconia episcopus), පුංචි දියකාවා (Phalacrocorax niger), තිත් හොට පැස්තුඩුවා (Pelecanus philippensis), මහා දියකාවා (Phalacrocorax carbo) වැනි ජලජ පක්ෂීන්ද කුරුලුගොයා (Accipiter badius), බ්‍රාහ්මණ උකුස්සා (Haliastur indus) වැනි මාංශ භක්ෂක පක්ෂීන්ද වේ. මෙහිදී විශාල රංචු වශයෙන් කුමන ජාතික වනෝද්‍යානයට සංක්‍රමණය වන මෙම පක්ෂීන් එහිදීම අභිජනනය සිදුකර අගෝස්තු මාසය අවසානයේදී නැවතත් මව් රටවල් බලා ගමන් අරඹයි.

යාල සහ විල්පත්තු වනෝද්‍යාන මෙන්ම කුමන ජාතික වනෝද්‍යානය ද කොටියන්ගේ (Panthera pardus kotiya) පාරාදීසයකි. එයට අමතරව මෙහිදී අලියා (Elephas maximus), වලහා (Melursus ursinus), හෝතම්බුවා (Herpestes smithii), මුගටියා (Herpestes edwardsil), ඉත්තෑවා (Hystrix indica), හිවලා (Canis aureus), වල් ඌරා (Sus scrofa), මුවා (Muntiacus muntijak), වල් මී හරකා (Bubalus bubalis) ආදී සත්වයින්ද දැක බලා ගත හැකිය. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ගහනය 30-40 අතර පමණ වේ.

එමෙන්ම උද්‍යානයේ වාසය කරන උරගයන් අතර තර්ජනයට ලක් වී ඇති ජීවීන් ලෙස හඳුන්වන යෝධ මුහුදු කැස්බෑවා/ දාර කැස්බෑවා (Demochelys coriacea), ගල් කැස්බෑවා (Chelonia mydas), ඔළුගෙඩි කැස්බෑවා (Caretta caretta) සහ බටු කැස්බෑවා (Lepidochelys olivacea) වැනි කැස්බෑ විශේෂයන්ද ගැට කිඹුලා/ ලවණදිය කිඹුලා (Crocodylus porosus) වැනි කිඹුල් විශේෂ කිහිපයක්ද නිරීක්ෂණය කළ හැකිය. එයට අමතරව කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව කූනිස්සන් (Shrimp species) සහ ඉස්සන් (Prawn species) විශේෂද, කලපු කකුළුවන් (Lagoon crab species) ද, මිරිදිය පරිසර පද්ධති තුළ මොරැල්ලා (Zenarchopterus dispar), උඩුප්පුවා (Butis butis), ගංආරා (Channa ara), කනයා (Channa gachua) සහ මස්පෙතියා (Puntius sarana) වැනි මත්ස්‍ය විශේෂ ද දැකගත හැකිය.

වර්තමානයේදී කුමන ජාතික වනෝද්‍යානය පිහිටා ඇති ප්‍රදේශය තුන්වන ශත වර්ෂයට පමණ අයත් පුරාණ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන අතර මෙහි ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම සලකා බැලීමේදී මෙම ප්‍රදේශයේ ආරම්භය මාගම රාජධානි සමයටත් පෙර අවධිය දක්වා දිවයයි. වනෝද්‍යානය අවට ප්‍රදේශවලින් ක්‍රිස්තු පූර්ව පළමුවන සහ දෙවන සියවස් වලට අයත් ශිලා ලේඛන සහ ගුහා සිතුවම් සොයාගෙන ඇති අතර වාර්ෂිකව හින්දු බැතිමතුන් කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන මාර්ගයද කුමන ජාතික වනෝද්‍යානය මධ්‍යයෙන් වැටී ඇත.

ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වනසත්ව විශේෂ 07ක් (Top Seven Wild Sri Lanka) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇත. එම “වනජීවී තරු හත” ක්ෂීරපායි විශේෂ හතරකින්, උරග විශේෂ දෙකකින් සහ පක්ෂි විශේෂයකින් යුක්ත වේ. ඒ සතුන් නම් ආසියානු අලියා, වලහා, කොටියා, ගෙල කළු කොකා/ අලිමානාවා, ලවණදිය කිඹුලා, යෝධ මුහුදු කැස්බෑවා සහ නිල් තල්මසා ය. සංරක්ෂණය සඳහා මුල් පෙලේ සත්ත්වයින් වශයෙන් විශේෂ පිළිගැනීමකට ලක්වී ඇති මෙම සත්ව විශේෂ හතම කුමන ජාතික වනෝද්‍යානය තුළදී නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

“ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන” පිළිබඳ මුද්දර පෙළෙහි හයවැන්න වශයෙන් කුමන ජාතික වනෝද්‍යානය තේමා කර ගනිමින් 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් මුද්දර පෙළක් නිකුත් කරන ලදී. මෙම මුද්දර කට්ටලය රු.7, රු.10, රු.15, රු.20, රු.25, රු.35 සහ රු.40 බැගින් වූ මුද්දර හතකින්ද, එක් සිහිවටන පත්‍රිකාවකින්ද, මුල් දින කවර දෙකකින්ද, තිළිණපත් (presentation pack) එකකින්ද සමන්විත විය. ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති මෙම මුද්දර පෙළ මුද්දර එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය අයිතම වලින් එකකි.

මෙම මුද්දර හත නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කුමන ජාතික වනෝද්‍යානය තුළදී නිරීක්ෂණය කළ හැකිවන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවීන් හත් දෙනා (Top Seven Wild Sri Lanka) යි. මෙහි රු.7 වටිනාකම සහිත මුද්දරය සඳහා දැනට ජීවත්වන සතුන් අතරින් විශාලතම සත්වයා වන ශ්‍රී ලංකාව අවට මුහුදේ වාසය කරන නිල් තල්මසා (Blue Whale – Balaenoptera musculus) යොදාගෙන ඇත. රු.10 මුද්දරය මිහිමත ජීවත් වන විශාලතම කැස්බෑවා වන යෝධ මුහුදු කැස්බෑවා (Leatherback Sea Turtle – Dermochelys coriacea) නිරූපණය කරයි. වඳ වීමට ආසන්න විශේෂයක් වශයෙන් ලෝක සංරක්ෂණ සංගමය විසින් හඳුන්වාදී ඇති ගෙල කළු කොකා/ අලිමානාවා (Black-necked stork – Ephippiorhynchus asiaticus) රු.15 මුද්දරය සඳහා යොදා ගෙන ඇත. රු.20 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සත්ව හා ශාක ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි සේ ආරක්ෂිත උරග විශේෂයක් වශයෙන් ලැයිස්තුගත කර තිබෙන ලවණදිය කිඹුලා (Saltwater Crocodile – Crocodylus porosus) යි. තර්ජනයට ලක් වී ඇති විශේෂයක් ලෙස සලකනු ලබන ආසියානු අලියා (Asian Elephant – Elephas maximus maximus) රු.25 මුද්දරයෙන් නිරූපණය වේ. රු.35 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ වඳ වී යෑමට ආසන්න සතෙකු වශයෙන් IUCN විසින් නම් කරනු ලැබූ කොටියා (Leopard – Panthera pardus kotiya) ය. රු.40 මුද්දරය IUCN විසින් අවදානම් සතෙකු සේ නම් කරනු ලැබ ඇති වලහා (Sloth Bear – Melursus ursinus) නිරූපණය කරයි.

මුද්දර පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය2016.01.26
සැලසුම්කරුකැළුම් ඒ. ගුණසේකර
ප්‍රමාණයරු.7, රු.10, රු.20 – 41mm × 30mm රු.15, රු.25, රු.35, රු.40 – 30mm × 41mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 20 බැගින්
සිදුරු ප්‍රමාණය14 × 13 1/2 13 1/2 × 14
මුද්‍රණකරුරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
භාවිතා කළ වර්ණහතරයි
කඩදාසි102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි 
මැලියම්PVA
මුද්‍රණය කළ ප්‍රමාණයමුද්දර – 1,000,000 බැගින් සිහිවටන පත්‍රිකා – 25,000 තිළිණපත් – 500

නාමාවලි අංක

රු.7 මුද්දරය (Blue Whale)CSL 2137, Mi:LK 2061, Sn:LK 1998, Yt:LK 2008, Sg:LK 2340, WAD:LK004.16
රු.10 මුද්දරය (Leatherback Sea Turtle)CSL 2138, Mi:LK 2062, Sn:LK 1999, Yt:LK 2009, Sg:LK 2341, WAD:LK006.16
රු.15 මුද්දරය (Black-necked stork)CSL 2139, Mi:LK 2063, Sn:LK 2000, Yt:LK 2010, Sg:LK 2342, WAD:LK007.16
රු.20 මුද්දරය (Saltwater Crocodile)CSL 2140, Mi:LK 2064, Sn:LK 2001, Yt:LK 2011, Sg:LK 2343, WAD:LK009.16
රු.25 මුද්දරය (Asian Elephant)CSL 2141, Mi:LK 2065, Sn:LK 2002, Yt:LK 2012, Sg:LK 2344, WAD:LK005.16
රු.35 මුද්දරය (Leopard)

CSL 2142, Mi:LK 2066, Sn:LK 2003, Yt:LK 2013, Sg:LK 2345, WAD:LK003.16
රු.40 මුද්දරය (Sloth Bear)CSL 2143, Mi:LK 2067, Sn:LK 2004, Yt:LK 2014, Sg:LK 2346, WAD:LK008.16
රු.152 සිහිවටන පත්‍රිකාව

Michel LK BL157
Stamp Number LK 2004a
Yvert et Tellier LK BF144
Stanley Gibbons LK MS2347
WADP Numbering System – WNS LK009MS.16

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.) 

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *