Pigeon Island – Marine National Park

පරවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය

ශ්‍රී ලංකාවේ 17වන ජාතික උද්‍යානය ලෙස නම් කළ “පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය” දෙමළ භාෂාවෙන් “පරාමලෙයි” ලෙස හඳුන්වන අතර දූපත ගල් පරවියන්ගෙන් ගහන වු බැවින් “පරවි දූපත” ලෙස නම් කර ඇත. අතීතයේදී පරවියන් මගින් පණිවිඩ යැවීම සදහා භාවිතා කල ස්ථානයක් ලෙස සැලකෙන මෙහි වර්තමානයේද පරෙවියන් විශාල ප්‍රමාණයක් දැකගත හැකිය.

මෙම දූපතේ ජීවත් වන ඒකදේශීය පක්ෂි විශේෂයක් වන ගල් පරවියන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින බව හඳුනා ගැනීමෙන් අනතුරුව මෙම ජීවියා ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින් 1963 වර්ෂයේදී පරවි දූපත අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්පසු 2003 ජුනි මස 04වන දින අංක 1291/16 දරන ගැසට් පත්‍රය මගින් දූපත සහ ඒ අවට කොරල්පර බහුල මුහුදු ප්‍රදේශයද ඇතුළත්ව ජාතික වනෝද්‍යානයක් ලෙස නැවත ප්‍රකාශයට පත්කරන ලදී. එය ශ්‍රී ලංකාවේ 17වන ජාතික වනෝද්‍යානයයි. මෙය නිල වශයෙන් සංචාරකයින් සඳහා විවෘත කරනු ලැබුවේ 2011 මැයි 28 දින වේ. තවද එය දකුණු ආසියානු ආරක්ෂිත ප්‍රදේශ පිළිබඳ වූ IUCN නාමාවලියට ද ඇතුළත් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් පරවි දූපත SAM (Special Area Management) හෙවත් විශේෂ කළමනාකරණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පරවි දූපතට ළඟාවීම සඳහා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළ තීරයක් වන නිලාවේලි වෙරළ තීරයට පිවිසිය යුතුය. එතැන් සිට පැයක පමණ මුහුදු ගමනකින් පසුව පරවි දූපතට ළඟාවිය හැක. පරවි දූපත විශාල සහ කුඩා දූපත් දෙකක එකතුවකි. මෙයින් විශාල දූපත පරවි දූපත (පෙරිය පරාමලෙයි) ලෙසත් කුඩා දූපත කාක දූපත (සින්න පරාමලෙයි) ලෙසත් හැඳින්වෙයි. විශාල පරවි දූපත හිරිගල් පරයකින් මායිම් වී ඇති අතර දූපතේ නිරිත දිග සහ උතුරු ප්‍රදේශයේ කුඩා වෙරළ දෙකක් පිහිටා ඇත. පරවි දූපත වටවී ඇති කොරල්පරය දිගින් 200m වන අතර පළල 100m පමණ වෙයි. දූපතේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට 44.8m පමණ උසකින් පිහිටා ඇත. කාක දූපත පාෂාණ දූපත් කිහිපයකින් වටවී පවතියි. එය වෙරළකින් තොර වන අතර ඒ වටා මුහුද තරමක් ගැඹුරුය. මෙම දූපත් දෙක (හෙක්ටයාර 9ක් පමණ) ඇතුළුව නොගැඹුරු කොරල් සහිත ප්‍රදේශයත් සමඟ හෙක්ටයාර 471.4ක් පමණ වූ ප්‍රදේශය පරවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානයට අයත් වේ. ඉතිරිය සාගර ජලයයි.

මෙම දූපතේ පිහිටි වනාන්තර වියලි මිශ්‍ර ස්වභාවයක් ගන්නා අතර මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 27°Cක් පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය 1000-1700mm වන අතර බොහෝවිට වර්ෂාපතනය ලැබෙන්නේ ඔක්තෝම්බර් සිට මාර්තු මස දක්වා වූ ඊසාන දිග මෝසම් සමයේදීය.

පරවි දූපත ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධාත්මක වටිනාකම පිළිබඳ සලකා බැලීමේදී මෙහි ශාක විශේෂ, කොරල් විශේෂ, පක්ෂි විශේෂ, මත්ස්‍ය විශේෂ මෙන්ම උරග විශේෂ රාශියක්ද වාර්තා වී ඇත.

ශාක විශේෂ පිළිබඳව සලකා බැලීමේදී පරවි දූපත ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත වෙයි. දූපතේ ගොඩබිම් ප්‍රදේශයේ ගඳපාන (Lantana camara), පතොක් (Cactus) ආදි වූ කටු පඳුරු සහිත වියලි කලාපීය ශාක විවිධත්වයක් පෙන්වන අතර උස ශාක විශේෂ ලෙස සියඹලා (Tamarindus indica), නුග (Ficus benghalensis), කොහොඹ (Azadirachta indica) වැනි ශාක දක්නට ඇත. දූපත වටා වූ ප්‍රදේශයේ බේරියා (Lumnitzera racemosa), වැටකෙයියා (Pandanus tectorius), මහ කඩොල් (Rhizophora mucronata), කදුරු (Cerbera manghas), තෙල (Excoecaria agallocha) වැනි කඩොලාන ශාක විශේෂ මෙන්ම දුර්ලභ ගණයේ ජලජ ශාක විශේෂද දැකගත හැකිය.

සාගර ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම දූපත වටා කොරල් විශේෂ 100ක් පමණ වේ. දූපත වටා ඇති නොගැඹුරු විනිවිද බවින් යුත් ජලය මතදී පියවි ඇසින් විවිධ වර්ණවලින් යුක්ත වූ කොරල් විශේෂ රාශියක් දැකගත හැකිය. ඒ අතර Acropora, Montipora, Millepora ගණයන්ට අයත් කොරල් ද Brain coral (Faviidae),  Stony coral (Mussidae),Lobeand finger coral (Poritidae) කුලවලට අයත් කොරල් ද බහුලව හමුවේ. එසේම Sinularia, Lobophyton, Sarcophyton වැනි ගණයන්ට අයත් මෘදු කොරල් ඇති ප්‍රදේශද නිරික්ෂණය කළ හැකිය. මෙම කොරල්පර බොහෝ පෘෂ්ඨවංශී හා අපෘෂ්ඨවංශී  ජීවීන්ට වාසස්ථානයක් මෙන්ම හොද අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරයි. එබැවින් ඒ ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 300ක් පමණ දැකගත හැකිය.

පරවි දූපත ජාතික වනෝද්‍යානයේදී පොතු කැස්බෑවා (Eretmochelys imbricata), ගල් කැස්බෑවා (Chelonia mydas), බටු කැස්බෑවා (​Lepidochelys olivacea) ආදී වූ කැස්බෑ විශේෂ කිහිපයක්ද ගල්පර මෝරා (Carcharhinus melanopterus) වැනි මෝරුන් විශේෂ කිහිපයක් ද දැකගත හැකිය.

මෙම උද්‍යානයේදී මෙයටම විශේෂ වූ ගෘහාශ්‍රිත පරවියන් සමග දෙමුහුන් නොවූ ගල් පරවියන් (Columba livia) විශාල ප්‍රමාණයක් දැක ගත හැකිය. සත්ව විද්‍යාඥයින් පවසන ආකාරයට මෙම දූපත පරවියන්ගේ අභිජනනයට සුදුසු වාසභූමියක් බැවින් වසර දහස් ගණනක් පුරා ගල් පරවියන් මෙය වාසභූමිය කරගෙන ඇති බවයි. තවද පරවියන්ට අමතරව ගොළු කිරලා (Burhinus oedicnemus) සහ බ්‍රාහ්මණ උකුස්සා (Haliastur indus) ආදී කුරුළු විශේෂ ගණනාවක්ද දැකගත හැකිය. උද්‍යානය වසරේ විවිධ කාලවලදී සංක්‍රමණික කුරුල්ලන්ගේද ලැගුම් ස්ථානයක් වී ඇත.

පරවි දූපත ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් හට නිලාවේලි වෙරළ තීරයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය. ඉන්පසුව වෙරළේ සිට 2km පමණ දුරින් පිහිටි පරවි දූපතට ළඟා වීම සඳහා බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක වේ. මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී මුහුද රළු බවින් අඩු නිසා එම කාලය තුළ සංචාරය කිරීම වඩාත් සුදුසු වේ. පරවි දූපත වෙරළ කලාපය සමුද්‍ර ජීවීන් හා කොරල්පර පිළිබඳ පර්යේෂකයන්ට කිමිදුම් කරුවන්ට මෙන්ම scuba, surfing සහ snorkeling වැනි ක්‍රියාකාරකම් කිරීම සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන්ට අගනා ස්ථානයකි. කෙසේ නමුත් වර්තමානයේදී මෙම රමණීය දූපතේ කොරල්පර ආශ්‍රිතව ධීවරයින් විසින් සිදුකරනු ලබන අනවසරයෙන් ඩයිනමයිට් දැමීම, සංචාරකයන් විසින් සිදුකරනු ලබන අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම, සංචාරකයන් සහ කිමිදුම්කරුවන් කොරල්පර වලට හානි කිරීම මෙන්ම සංචාරක බෝට්ටු හේතුවෙන්ද මත්ස්‍යයන් මෙන්ම කොරල්පරද හානිවීමේ අවදානමකට ලක්ව ඇත.

පරවි දූපත ජාතික වනෝද්‍යානය තේමා කර ගනිමින් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් මුද්දර පෙළක් නිකුත් කරන ලදී. එම මුද්දර කට්ටලය රු.7, රු.10, රු.15, රු.25, රු.35 සහ රු.50 බැගින් වූ මුද්දර හයකින්ද එක් සිහිවටන පත්‍රිකාවකින්ද මුල් දින කවර දෙකකින්ද සමන්විත විය. ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති මෙම මුද්දර පෙළ මුද්දර එකතු කරන්නන් අතර ජනප්‍රිය අයිතම වලින් එකකි.

මෙහි රු.7 වටිනාකම සහිත මුද්දරය සඳහා පරවි දූපතට ආවේණික වූ පක්ෂි විශේෂයක් වන ගල් පරවියා (Rock Pigeon – Columba livia) යොදාගෙන ඇත. රු.10 මුද්දරය දත් සහිත තල්මසුන් අතරින් විශාලතම තල්මසා වන Sperm whale (Cachalot – Physeter macrocephalus) නිරූපණය කරයි. ඉන්දියානු සහ පැසිෆික් සාගරවල කොරල් පර ආශ්‍රිතව බහුලවම වාසය කරන මෝරුන් විශේෂය වන ගල්පර මෝරා (Blacktip Reef Shark – Carcharhinus melanopterus) රු.15 මුද්දරය සඳහා යොදා ගෙන ඇත. රු.25 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ කොරල් පර ආශ්‍රිතව ජීවත් වන Chaetodon සමනළ මත්ස්‍ය (Blackwedged Butterfly Fish – Chaetodon falcula) විශේෂයකි. පාෂාණ වෙරළ තීරයන්හි බහුලව දක්නට ලැබෙන කකුළු විශේෂයක් (Scaly Rock Crab – Grapsus albolineatus) රු.35 මුද්දරයෙන් නිරූපණය වේ. රු.50 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ නිවර්තන නොගැඹුරු මුහුදු වලදී හමුවන කොරල් (Knotted Fan Coral – Melithaea ochracea) විශේෂයක් සහ ඒ ආශ්‍රිතව හමුවන මත්ස්‍ය විශේෂයක (Emperor Angelfish – Pomacanthus imperator) පින්තූරයකි.

මුද්දර පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය2014.08.22
සැලසුම්කරුසුදත් ජයවර්ධන
ප්‍රමාණය41mm × 30mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 20 බැගින්
සිදුරු ප්‍රමාණය13 1/2 × 14
මුද්‍රණකරුරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
භාවිතා කළ වර්ණහතරයි
කඩදාසි102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි 
මැලියම්PVA
මුද්‍රණය කළ ප්‍රමාණය
 
    
රු.7.00   – 2,000,000
රු.10.00 – 2,000,000
රු.15.00 – 2,000,000
රු.25.00 – 1,000,000
රු.35.00 – 2,000,000
රු.50.00 – 1,000,000
සිහිවටන පත්‍රිකාරු.142.00 – 25,000

නාමාවලි අංක

රු.7 මුද්දරය (Rock Pigeon)


Michel LK 1999
Stamp Number LK 1937
Yvert et Tellier LK 1946
Stanley Gibbons LK 2266
WADP Numbering System – WNS LK018.14
රු.10 මුද්දරය (Sperm whale)

Michel LK 2000
Stamp Number LK 1938
Yvert et Tellier LK 1947
Stanley Gibbons LK 2267
WADP Numbering System – WNS LK019.14
රු.15 මුද්දරය (Blacktip Reef Shark)

Michel LK 2001
Stamp Number LK 1939
Yvert et Tellier LK 1948
Stanley Gibbons LK 2268
WADP Numbering System – WNS LK020.14
රු.25 මුද්දරය (Black-wedged Butterfly Fish)

Michel LK 2002
Stamp Number LK 1940
Yvert et Tellier LK 1949
Stanley Gibbons LK 2269
WADP Numbering System – WNS LK021.14
රු.35 මුද්දරය (Scaly Rock Crab)

Michel LK 2003
Stamp Number LK 1941
Yvert et Tellier LK 1950
Stanley Gibbons LK 2270
WADP Numbering System – WNS LK022.14
රු.50 මුද්දරය (Knotted Fan Coral & Emperor Angelfish)Michel LK 2004
Stamp Number LK 1942
Yvert et Tellier LK 1951
Stanley Gibbons LK 2271
WADP Numbering System – WNS LK023.14
රු.142 සිහිවටන පත්‍රිකාව

Michel LK BL146
Stamp Number LK 1942a
Yvert et Tellier LK BF135
Stanley Gibbons LK MS2272
WADP Numbering System – WNS LK023MS.14

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.) 

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *