සොයිලිස් මෙන්ඩිස් මහතා 1897 ජූනි මස 17 වන දින හලාවත, මාදම්පේ, මහවැව ප්‍රදේශයේදී උපත ලැබීය. ඔහුගේ පියා වන වලිමුණි සිරිනෝරිස් මෙන්ඩිස් මහතා ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ මව වූයේ නිශ්ශංක සීරෝ මෙන්ඩිස් ය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා ලෙස උපත ලද මෙතුමාට මවුපියන් විසින් ලබා දුන් සම්පූර්ණ නම වූයේ “වලිමුණි සොයිලිස් මෙන්ඩිස්” ය.
මෙතුමාගේ දෙමව්පියන්ට අවශ්‍ය වූයේ ඔහුද පියා මෙන් ආයුර්වේද වෛද්‍යවරයකු වනවා දැකීමය. නමුත් කුඩා කල සිටම පන්සලට සහ බුදු දහමට මහත් සේ ඇලුම් කළ සොයිලිස් මෙන්ඩිස් මහතා වඩාත්ම ප්‍රිය කළේ චිත්‍ර ශිල්පයටයි. මෙතුමා 07 වන ශ්‍රේණිය දක්වා මාවිල පන්සලෙන් අධ්‍යාපනය ලබාගත් අතර ඉන් අනතුරුව මාදම්පේ කතෝලික පාසලකිනුත් නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙනෙනුත් අධ්‍යාපනය ලබා ඇත.
නමුත් කුඩා කල සිටම ඔහු දැඩිව ඇළුම් කළේ මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමග සිතුවම් කලාවේ නිරත වීමටයි. ඒ අනුව මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ලැබෙන සිතුවම් ඔහුගේ චිත්‍ර කලාවේ ආරම්භය වේ. ඔහුගේ මුල් කාලයේ සිතුවම්වල කලාත්මක වටිනාකමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන අයුරින් නිර්මාණය කිරීමට උත්සාහ දරා ඇති බව දැකගත හැකිය. මේ ආකාරයෙන් 1912 වර්ෂයේදී මාරවිල සුමන කුසුමාරාම විහාරයේත්, 1915 වර්ෂයේදී රණස්ගල්ල විහාරයේත්, 1920 වර්ෂයේදී ගිරිඋල්ල මැද්දෙපොළ විහාරයේත් බිතුසිතුවම් නිර්මාණය කිරීම මෙතුමා අතින් සිදුවිය. මෙම විහාරස්ථාන වලට අමතරව පොළොන්නරුවේ ශ්‍රී ගජබා විහාරයේත් උඩුබද්දාව ටැම්පිට විහාරයේත් මල්වාන ලේනගම්පල විහාරයේත් මෙතුමාගේ බිතු සිතුවම් දැකගත හැකිය.
සියවස් ගණනාවක්ම විදේශීය බලපෑම්වලට නතු වෙමින් විනාශ වී ගොස් තිබුණු කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පැවතුනේද මෙම කාලයේදීය. එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූලිකත්වය ගනු ලැබුවේ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන ළමාතැනී විසිනි. කැලණි විහාරයේ දායක සභාවට අවශ්‍ය වූයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව විහාරගෙයිහි බිතු සිතුවම් ද නිර්මාණය කිරීමටයි. ඒ අනුව මෙම වකවානුවේදී දිවයිනේ විවිධ විහාරස්ථානවල බිතු සිතුවම් නිර්මාණය සඳහා ප්‍රසිද්ධව සිටි සොයිලිස් මෙන්ඩිස් මහතා කැලණි විහාරයේ සිතුවම්කරණයට ද සුදුසු බව තීරණය කෙරිණි. කැලණි රජමහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය ආරම්භ කරනු ලැබුවේ ඔහුට වයස අවුරුදු 30 දීය. එම ව්‍යාපෘතිය නිමා කිරීමට සොයිලිස් මෙන්ඩිස් මහතාට අවුරුදු 18ක් පමණ ගතවිය.
සොයිලිස් මෙන්ඩිස් මහතාගේ මුල් කාලයේ නිර්මාණ සඳහා අනුරාධපුර සහ පොළොන්නරු යුගවල චිත්‍ර සහ මූර්ති වල ආභාසය ලබාගෙන ඇති බව පෙනෙයි. කැලණි විහාරයේ බිතු සිතුවම් කිරීමට පෙර කැලණි විහාරයේ දායක සභාවේ අනුදැනුම මත සොයිලිස් මෙන්ඩිස් මහතා ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා, බග් ආදී ලෙන් සිතුවම් මෙන්ම සාරානාත්හි සිතුවම්ද අධ්‍යයනය කිරීම සඳහා පිටත් කර යවා ඇත. එම ගමනින් අනතුරුව ඔහුගේ සිතුවම්වල අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ චිත්‍රවල ආභාසය මෙන්ම ඉන්දියානු බිතු සිතුවම් හා මූර්ති වල ආභාසය ද දැකගත හැකිය.
කැලණි විහාරයේ බිතු සිතුවම් නිර්මාණකරණයේ දී එම චිත්‍ර වර්ණ ගැන්වීම සඳහා මෙන්ඩිස් මහතා විසින් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ඇත. ඒ අනුව මකුළු මැටි, පස් වර්ග, ශාක පත්‍ර හා පොතු, බිත්තර සුදු මද මෙන්ම තැඹිලි වතුර ද වර්ණ ලෙස මෙන්ම බදාම ලෙසද භාවිතා කර ඇත. ඔහු මෙහිදී යොදාගත් කිකිළි බිත්තර සඳහා සෑම විටම බිඳුණු බිත්තර යොදාගත් බව කියවෙයි. මෙන්ඩිස් මහතා කැලණි විහාරයේ බිතුසිතුවම් සඳහා තෝරාගත් වර්ණ ශාන්ත සහ සිත නිවන ස්වභාවයක් ඇති කරයි. බිතුසිතුවම් වර්ණ ගැන්වීමේදී ඒවායේ ත්‍රිමාන ලක්ෂණ මතුවන පරිදි පින්සලෙන් ඇඳ තිබීමක් කළු මිශ්‍ර වර්ණයකින් සිතුවම් මතු කර පෙන්වීමත් විශේෂ ලක්‍ෂණ වේ.
කැලණි විහාරයේ බිතු සිතුවම් සඳහා බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩම කිරීමේ සිට වැදගත් බෞද්ධාගමික සහ ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් යොදාගෙන ඇත. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම සහ නාගදීපයට වැඩම කිරීම, චූලෝදර මහෝදර යුද්ධය, සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩම කිරීම, හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩම කිරීම, මහින්දාගමනය, කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කිරීම, විජය කුමරු ලක්දිවට පැමිණීම මෙන්ම සංඝරාජ හිමිට පදවි පිරිනැමීම වැනි සිතුවම් ඒ අතර වේ.
කැළණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පී නන්දලාල් බෝස් මහතා එක් වරෙක මෙරටට කැඳවා ඇත. නමුත් මෙන්ඩිස් මහතාගේ බිතු සිතුවම් දුටු ඔහු පවසා ඇත්තේ කැලණි විහාරයේ බිතු සිතුවම් නිර්මාණය සඳහා සුදුසුතම පුද්ගලයා වන්නේ සොයිලිස් මෙන්ඩිස් මහතා බවයි.
ශ්‍රී ලාංකික චිත්‍ර කලාව වෙනුවෙන් සිදුකළ සේවය අගයනු වස් 1970 වර්ෂයේදී මෙතුමාට ලංකා කලා සංගමය විසින් කලා ගුරු යන ගෞරව නාමය ප්‍රදානය කරන ලදී. ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකු වූ සොයිලිස් මෙන්ඩිස් මහතා 1975 සැප්තැම්බර් මස 01වන දින අභාවප්‍රාප්ත වූ අතර මිය යන විටද එතුමා අවිවාහක විය. මෙතුමාගේ අවසාන කාලයේදී තමා සතු වූ සියලුම දේපළ අඳ, ගොළු, බිහිරි දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලදී. එයට සිවිරාජ ලෙස නම් තබා ඇත. ස්වකීය ජීවිතය බෞද්ධ සිතුවම් හා මූර්ති කලාව වෙනුවෙන් කැපකළ මෙම මහා සිත්තරා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට පුද්ගලයකු විය.
“සෝලියස් මෙන්ඩිස්” නමින් ප්‍රකට මෙම මහා කලාකරු සොයිලිස් මෙන්ඩිස් මැතිතුමා සිහිකරනු වස් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් 2019 ඔක්තෝබර් මස 08 වන දින මුහුණත වටිනාකම රු.15.00 ක් වූ තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී. එම තැපැල් මුද්දරයේ වම් පසින් සොයිලිස් මෙන්ඩිස් මහතාගේ මුහුණේ ඡායාරුවක් සමඟ පසුබිමේ කැලණි විහාරයේ ඡායාරුවකුත් දකුණු පසින් එතුමා විසින් කැලණි විහාරයේ සිතුවමට නැගූ දළදා වහන්සේ මෙරටට වැඩම කිරීම සිතුවමත් නිරූපණය කරයි. එම මුද්දරය පිළිබඳව විස්තර පහත දක්වා ඇත.
මුද්දරය පිළිබඳ විස්තර
නිකුත් කළ දිනය | 2019.10.08 |
මුහුණත වටිනාකම | රු. 15.00 |
සැලසුම්කරු | P. ඉසුරු චතුරංග |
ප්‍රමාණය | 41mm × 30mm |
මුද්‍රණ ක්‍රමය | ඔෆ්සෙට් ලිතෝග්‍රැපි |
පත් සැකැස්ම | පත්‍රිකාවක මුද්දර 20 බැගින් |
සිදුරු ප්‍රමාණය | 12 × 13 1/4 |
මුද්‍රණකරු | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
භාවිතා කළ වර්ණ | හතරකි |
කඩදාසි | 102gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි |
මැලියම් | PVA |
මුද්‍රණය කළ ප්‍රමාණය | 500,000 |
නාමාවලි අංක | CSL 2344 Michel LK 2268 Stamp Number LK 2204 Yvert et Tellier LK 2209 |
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)