– දමින්ද ගොඩහේව විසින් රචිත
තැපැල් මුද්දරය නිර්මාණයට පෙර, 1635 වසරේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව තැපැල් සේවයක් එංගලන්තයේ ආරම්භ වී ඇති අතර 1642 දී එංගලන්තයේ එඩ්වඩ් රජතුමාට ගාස්තුවක් ගෙවා පණිවිඩ හුවමාරු කිරීමේ ක්‍රමය, වත්මන් තැපෑලේ මූලාරම්භය ලෙස හැඳින්විය හැක. එකල ඇතිවූ ජාත්‍යන්තර වෙළඳ සහ මුද්‍රණ කටයුතුවල දියුණුවත් සමගම තැපෑලේ පිබිදීමක් ඇතිවිය. රෝමයේ හොප්ස්බර්ග් ප්‍රදේශයේ Thurn & Taxis සිටුවර පවුලේ සාමාජිකයන් විසින් 16 සහ 17 වන ශත වර්ෂවල ජාත්‍යන්තර තැපැල් සේවයක් පවත්වාගෙන ගොස් තිබිණ.
17 වන ශත වර්ෂයේ තැපැල් මුද්දර සංකල්පයේ ආරම්භය ලෙස හැඳින්විය හැකි “ගාස්තු සඳහන් තීරු” (charge strips) විශේෂයක් ප්‍රංශයේ භාවිතා විය. ප්‍රංශ රාජකීය නීතියට අනුකූලව අලෙවි කල එම “ගාස්තු සඳහන් තීරු” Marquis de Longueville නම් ප්‍රංශ ජාතිකයා විසින් හඳුන්වාදී තිබිණ.

1653 දී De Velayar නම් ප්‍රංශ ජාතිකයා විසින් ඇරඹි තැපැල් හලද, 1661 දී Henry Bishop නම් බ්‍රිතාන්‍ය ජාතිකයා හඳුන්වාදුන් තැපැල් දින මුද්‍රාවද, 1680 දී පෞද්ගලික තැපැල් සේවයක් ඇරඹූ William Dockwra නම් බ්‍රිතාන්‍ය ජාතිකයාගේ “PENNY POST PAID” මුද්‍රාවද යුරෝපා තැපැල් සේවයේ ඉදිරි ගමනට මහඟු පිටුවහලක් විය.
19 වන ශත වර්ෂය වනවිටත් තැපෑල ප්‍රයෝජනවත්වූයේ සුළු පරිසකට පමණි. ගාස්තු අයකිරීම අසාධාරණ වූ බැවින් ලිපි භාරගැනීම ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ගේ ප්‍රමාණය ඉහලයාම නිසා සාධාරණ ගාස්තු ක්‍රමයක් පිළිබඳව සොයාබැලීමට රජයන්ට සිදුවිය.
තැපැල් ඉතිහාසයට අනුව 1814 දී Sardian Postal Service විසින් “මුද්‍රා තැබූ කඩදාසි තීරු” (Cealed paper columns) ක්‍රමය යලි ක්‍රියාත්මක කලද අසාර්ථකව ඇති අතර එයට විසි වසරකට පමණ පසුව 1835 දී පමණ යුගෝස්ලාවියාවේ සේවය කල ඔස්ට්‍රියානු සිවිල් සේවකයකු වූ Lourence Kosir නම් ඔස්ට්‍රියානු ජාතිකයා ලිපියකින් ගාස්තු අයකිරීම සඳහා “Adhesive letter tax stamp” පිළිබඳ යෝජනාවක් ඔස්ට්‍රියානු රජය වෙත ඉදිරිපත් කර ඇත.

සාර්ථක තැපැල් සේවයක් සඳහා Lieutenant Treffenberg නම් ස්වීඩන් ජාතිකයා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇතත් එම යෝජනා යටපත් වී ඇත.

තැපැල් ලිපි යැවීමේදී සාධාරණ ගාස්තු ක්‍රමයක් පිළිබඳව, බ්‍රිතාන්‍ය මුද්‍රණ ආයතනයක් හිමිකරුවකු වූ James Charmas නම් ස්කොට් ජාතිකයා විසින් 1830 දශකය මුලදී ඉදිරිපත් කර ඇත. ගාස්තුව සඳහන් ඇලවිය හැකි කඩදාසි කැබැල්ලක් (තුන්ඩුවක්) ඔහු ඉදිරිපත් කර ඇත. එංගලන්තයේ ග්‍රිනොක් මහජන මන්ත්‍රී Robert Wallace 1833 දී ලිපියක් යවන දුර ප්‍රමාණය නොසලකා එකම අගයක් අය කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කලේ උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද කරමිණි.
දකුණු ඔස්ට්‍රේලියාවේ ජනපද පිහිටුවීම සම්බන්ධ ආයතනයක ලේකම්වරයකු ලෙස කටයුතු කල එංගලන්තයේ බර්මින්හැම් විද්වතෙකු වූ Rowland Hill 1836 දී Robert Wallace හමුවිය. ඔහුගේ තැපැල් ගාස්තු ගෙවීමේ අදහස අධ්‍යනය කල Rowland HillI, ලිපි රැගෙන යන දුර නොසලකා බර මත ගාස්තු අය කිරීමෙන් තැපෑල සැමටම ප්‍රයෝජනවත් වන බව පැහැදිලි විය.

ලිපියක් සඳහා අවුන්ස 1/2 කට පැන්ස එකක් බැගින් වන අනුපාතයට ඒකීය ගාස්තුවක් අය කිරීම සුදුසු බවට 1837 ජනවාරි මසදී Rowland Hill රජයට සහ ජනතාවට පැහැදිළි කළේය. එලෙසම යවන්නා ගාස්තුව ගෙවිය යුතු බවත් තැපැල් කාර්යාලයෙන් ලිපි යවන්නාට ගාස්තුව සඳහන් කුඩා කඩදාසි කැබැල්ලක් ලබාදීම සුදුසු බවත් ඔහු යෝජනා කලේය. Rowland Hill ගේ දීර්ඝ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් එම යෝජනාවලියේ විස්තර සහිතව සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස 1839 දී රජය ඔහුගෙන් ඉල්ලීමක් කලේය. ඒ අනුව ඉදිරිපත් කල සැලැස්ම, අග්‍රාමාත්‍ය මෙල්බර්න් සාමි වසරේ අය-වැය යෝජනාවලියට ඇතුලත් කිරීමෙන් පසු සම්මත වූ අතර එම යෝජනාව 1839 අගෝස්තු 17 වනදා වික්ටෝරියා මහ රැජිනගේ අනුමැතිය ලැබිණ.
ඒ අනුව 1939 දෙසැම්බර් 05 වනදා අවුන්ස 1/2 ක් සඳහා පැන්ස 4 ක තැපැල් ගාස්තුවක් හඳුන්වා දුන්නද මහජනතාවගේ අප්‍රසාදය හේතුවෙන් සති 5 කට පමණ පසුව, එනම් 1940 ජනවාරි 10 වනදා එම ගාස්තුව ඉවත් කර යෝජනා වූ පැන්ස එකේ ගාස්තු ක්‍රමය හදුන්වා දෙනු ලැබීය. එහෙත් ලිපි ද්‍රව්‍ය සහ මුද්දර මුද්‍රණය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මුද්දර භාවිතයෙන් තොරව නව ගාස්තු ක්‍රමය යටතේ ලිපි භාරගැනීම සිදුවිය. තැපැල් කාර්යාල 300 කට ආසන්න ප්‍රමාණයකින් භාරගත් ලිපි සඳහා ගාස්තු ගෙවූ බවට හැඳින්වීමට “Penny paid” යන වචනය මුද්‍රා තබනු ලදී.
ඒ අනුව පැන්ස 1 සහ 2 වශයෙන් මුද්දර දෙකක් සහ මුද්‍රිත ලිපි ද්‍රව්‍යද නිර්මාණය කල යුතු විය. ලොව පලමු මුද්දරය නිර්මාණය භාරගත් Rowland Hill මුද්දරය සැලසුම් කිරීම William Mulready නම් තම හිතවතාට පැවරීය. එවකට බ්‍රිතාන්‍ය වික්ටෝරියා මහ රැජිනගේ උඩුකයේ රූපයක් මුද්දරයට යොදාගැනීමට තීරණය කල අතර ඒ මහ රැජින ප්‍රථම වරට ලංඩන් නගරයට කල සංචාරය සැමරීම සඳහා William Wyon නිර්මාණය කල රන් පදක්කමෙහි වූ හිසෙහි පැතිකඩක රුවයි.
එම රුව Henry Corbould නැමති චිත්‍ර ශිල්පියා විසින් පිටපත් කරන ලදුව Charles and Frederick Heath නැමති ශිල්පීන් අතින් මුද්දර මුද්‍රණ තහඩු මත කැටයම් කරනු ලැබූ ලොව ප්‍රථම මුද්දරය, එකල බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කල උසස් මුද්‍රණ තාක්ෂණයක් සහිත Jacob Perkins ගේ Perkins Bacon සමාගම විසින් මුද්‍රණය කරනු ලැබීය.
ඒ අනුව ලොව ප්‍රථම තැපැල් මුද්දරය ලෙස වික්ටෝරියානු මහ රැජිනගේ හිසෙහි රුව සහිත කළු පැහැති පැන්ස 1 මුද්දරය 1840 මැයි 01 වනදා සිට එංගලන්තයේ තැපැල් කාර්යාලවලින් අලෙවි කෙරිණ.

එහෙත්, එම මුද්දර තැපෑලේ භාවිතයට වලංගුවූයේ මැයි 06 වන දින සිට බැවින් ලොව ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කල දිනය වශයෙන් සැලකෙන්නේ 1840 මැයි 06 වන දිනයි. ඉතා කෙටි කලක් තුල මුද්දර ලක්ෂ 600 ක් අලෙවිවීම, ජනතාවට මුද්දරයේ තිබු අවශ්‍යතාව මැනවින් පැහැදිලි කරයි.