නව මුද්දර එකතු කරන්නන් විසින් සිදු කරන පොදු වැරදි 10 ක්

මුද්දර එකතු කිරීම සිත් ඇද ගන්නා සුළු සහ ප්‍රතිලාභදායක විනෝදාංශයක් වන අතර, එය මුද්දරය ඉතිහාසය, සංස්කෘතිය සහ කලාව ගවේෂණය කිරීමෙහි ලා මුද්දර එකතු කරන්නන් හට නව මං සාදයි.

කෙසේ නමුත් නවක එකතු කරන්නන් හට මුද්දර ලෝකය ගවේෂණය කිරීම අසීරු අභියෝගයක් විය හැකිය. මන්ද, මුද්දර එකතු කිරීමෙන් ලැබෙන වින්දනයට සහ වටිනාකමට බලපෑම් කළ හැකි අත්වැරදීම් ඒ සඳහා බලපාන බැවිනි.

පහතින් සඳහන් වන්නේ එලෙස නවක මුද්දර එකතු කරන්නන් අතින් පොදුවේ සිදුවන වැරදි සහ ඒවා වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ය.

  1. මුද්දර සදහා අධික මිලක් ගෙවීම –
    • නවක එකතු කරන්නන් හට මුද්දරවල වෙළඳපොල වටිනාකම පිළිබඳ විධිමත් අවබෝධයක් නොමැති නිසා බොහෝ අවස්ථාවල අලෙවිකරුවන්ගේ උපායන්ට හසු වී වැඩි මිලට මුද්දර මිල දී ගනු ලබයි. එහෙයින්, යම් මුද්දරයක් මිල දී ගැනීමට පෙර මුද්දරවල වටිනාකම් පිළිබඳව අධ්‍යනය කිරීම සහ මිල ගණන් පිළිබඳ ස‍‍ංසන්දනය කිරීම අත්‍යවශ්‍ය වේ.
  2. නිසි ගබඩා කිරීම සහ පරිහරණය නොසලකා හැරීම –
    • අවිධිමත් මුද්දර ඇසුරුම් කිරීම සහ පරිහරණය මුද්දර හානි වීමට සහ කල්පැවැත්ම අඩු වීමට හේතු වේ. එම නිසා නවකයින් තම මුද්දර එකතුවේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රමිතියකින් යුතු මුද්දර ඇල්බම, මුද්දර රඳවන, ආරක්ෂිත කවර සහ මුද්දර අඬු භාවිතා කිරීම සුදුසු වේ.
  3. මූල්‍ය වටිනාකම මත පමණක් අවධානය යොමු කිරීම –
    • මුද්දරවල පවතින මූල්‍යමය වටිනාකම වැදගත් අංගයක් වන අතර, එතෙකින් නොනැවතී මුද්දරවල ඇති ඓතිහාසික, සංස්කෘතික සහ කලාත්මක වැදගත්කම ද අගය කළ යුතු වේ.
  4. ප්‍රමාණවත් පර්යේෂණ සිදු නොකිරීම –
    • මුද්දර හඳුනා ගැනීම, ශ්‍රේණිගත කිරීම, මුද්දරවල වෙළඳපොල ප්‍රවණතා හඳුනා ගැනීම යනාදී නිර්නායක මඟින් තම විනෝදාංශය පිළිබඳව අධ්‍යනය කිරීම වැදගත් වේ. මුද්දර සහ ඒවායේ පසුබිම ගැන සිදුකරන මෙම අධ්‍යනයන් මඟින් මුද්දර එකතු කිරීම පිළිබඳ මනා අවබෝධයක් සහ අත්දැකීමක් ලබා ගත හැකි වේ.
  5. තත්වය සහ ප්‍රමිතිය නොසලකා හැරීම –
    • මුද්දරවල තත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳව නොසලකා හැරීම, මුද්දර එකතුවේ වටිනාකම අඩු වීමට සහ අනාගතයේ දී නැවත විකිණීමේ වටිනාකම අඩු වීමට හේතු වේ. එබැවින් නවක එකතු කරන්නන් මුද්දරයක කේන්ද්‍රගත කිරීම, මැලියම් හි ස්වභාවය සහ විදමන් වැනි සාධක කෙරෙහි අවධානය යොමු කරමින් ගුණාත්මක මුද්දර එකතුවක් තම එකතුව තුළ රඳවා ගැනීමට උත්සාහ කළ යුතුය.
  6. ප්‍රවීණයන්ගේ උපදෙස් නොසලකා හැරීම –
    • පළපුරුදු එකතු කරන්නන්, අලෙවිකරුවන් හෝ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා නොගැනීමෙන් නවකයින්ට වටිනා අදහස් හා දැනුම් සම්භාරයක් අහිමි වී යා හැකිය. මුද්දර ප්‍රජාව සමඟ සම්බන්ධ වීමෙන් වටිනා මඟ පෙන්වීමක් සහ මුද්දර එකතු කිරීම ගැන මනා අවබෝධයක් ලබා ගත හැකිය.
  7. ආවේගශීලී මිලදී ගැනීම් –
    • නව එකතු කරන්නන් තම මුද්දර එකතු කිරීමේ ඉලක්ක හෝ එකතු කිරීමේ තේමාවන්ගේ අදාළත්වය ගැන නොසලකා ආවේගශීලී මිල දී ගැනීම් කිරීමට පෙළඹිය හැකිය. එම නිසා තම එකතුව ගොඩනැඟීමේ දී අනවශ්‍ය මිලදී ගැනීම් වලින් වැළකී අත්‍යවශ්‍ය මුද්දර පමණක් මිල දී ගැනීමට නිසි ක්‍රමවේදයක් සහ අවධානයක් යොමු කළ යුතු වේ.
  8. වෙනත් එකතු කරන්නන් සමඟ සබඳතා නොමැති වීම –
    • මුද්දර එකතු කරන්නන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමෙන් තම මුද්දර එකතුව වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම, මුද්දර සොයාගැනීම සහ අලෙවි කිරීමට අවස්ථාව සැලසේ. එමෙන්ම මුද්දර සමාජවලට සම්බන්ධ වීම සහ මුද්දර ප්‍රදර්ශනවලට සහභාගි වීම ද ප්‍රයෝජනවත් වේ.
  9. දුර්ලභ හෝ වටිනා මුද්දර අනිසි ලෙස පරිහරණය කිරීම –
    • නව එකතු කරන්නන් දුර්ලභ හෝ වටිනා මුද්දර හැසිරවීමේ දී අහඹු ලෙස සිදුවන හානි සහ පළුදු වීම් වලින් ප්‍රවේසම් විය යුතුය. මුද්දර ඇල්ලීම සඳහා මුද්දර අඬු (Stamp Tongs/Tweezer) භාවිතා කිරීම සහ මුද්දර ප්‍රවේසමෙන් හැසිරවීම මඟින් මෙම හානිය වළක්වා ගත හැකිය.
  10. ඉවසීම නොමැතිකම –
    • ක්‍රමවත් මුද්දර එකතුවක් ගොඩනැඟීමට කාලය ගත වන අතර, නව එකතු කරන්නන් තම එකතුව සම්පූර්ණ කිරීමට ඉක්මන් නොවිය යුතුය. විධිමත් මුද්දර එකතුවක් සඳහා ඉවසීම සහ නොපසුබස්නා උත්සාහය අත්‍යවශ්‍ය වේ.

ඉහත සඳහන් කරුණු පිළිබඳව දැනුවත්ව සිටීමෙන් මුද්දර එකතුවේ වටිනාකමට සහ රසවින්දනයට බලපෑම් එල්ල කරන පොදු අත්වැරදීම් වළක්වා ගැනීමට ක්‍රියාශීලි විය යුතුය.

මුද්දර එකතු කිරීම, මුද්දරය තුළින් ලෝකය ගවේෂණය කිරීමට, ඉගෙනීමට සහ අගය කිරීමට ලබාදෙන්නා වූ අඟනා ප්‍රවේශයකි.

Original Article by Don Shillings

Translated by Iresha Herath

Edited by Pradeep M. Pitigala Arachchi

Image courtesy https://virtualstampclub.com/lloydblog/?p=13026

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *