හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය

හෝර්ටන්තැන්න මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා රමණීය භූමියකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික උද්‍යානය වන හෝර්ටන් තැන්න, මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම කන්ද පිහිටි තැනිතලා භුමිය වේ. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම අතින් ද ඉතා විශේෂ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදකලාවකින් යුත් සුන්දර හෝර්ටන් තැන්න හමු වෙයි.

1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විලියම් පිෂර් සහ කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනාට හෝර්ටන්තැන්න නිලවශයෙන් සොයා ගැනිමේ ගෞරවය  හිමිවන අතර ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව එයට හෝර්ටන් තැන්න යන නම යොදන ලදි.1969 දෙසැම්බර් 05 වන දින මෙම වනාන්තරය ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද අතර සමනල කන්දට මායිම්ව පිහිටා ඇති මෙම උද්‍යානයේ  ඇති ස්ථානගත අගය නිසා 1988 වසරේ මාර්තු මස 16 වන දින ජාතික උද්‍යානයක් බවට පත් කරන ලදි. 2010 ජූලි මස මෙය ලෝක උරුම ලැයිස්තුවටද ඇතුලත් කර ඇත.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර 3160 වන අතර මුහුදු මට්ටමේ සිට උස මීටර 2200ක් පමණ වේ. ලංකාවේ උසම තැනිතලා ප්‍රදේශය (උසම සානුව) ලෙස සැලකෙන හෝර්ටන් සානුවට උතුරින් මීටර් 2357ක් පමණ උස තොටුපල කන්ද ද බටහිරින් මීටර් 2389ක් පමණ උසකින් යුත් කිරිගල්පොත්ත කන්ද ද ප්‍රධාන කඳු වශයෙන් පිහිටා ඇත. හෝර්ටන් තැන්න සංචාරය කරන ඔබට මේ කදු දෙක තරණය කිරීමේ හැකියාවද පවතී.

නුවරඑළිය හා හපුතලේ අතර මධ්‍යම කදුකරය පුරා පැතිර ඇති මෙම ප්‍රදේශයට නිරිතදිග සහ ඊසාන දිග හා අන්තර් මෝසම් වැසි ලැබේ. හෝර්ටන් තැන්නේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට වඩා වැඩි වන අතර සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයට වසර පුරාම වර්ෂාව පතිත වුවත් ජනවාරි සිට මාර්තු දක්වා දැඩි වියළි කාලයක් පවතියි. එසේම හෝර්ටන්තැන්න ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ක් පමණ වීමත් ඇතැම් කාලවල දී සහ රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 5 දක්වා ප්‍රමාණයක අගයකට පහත වැටීමත් සිදුවන අතර හිමිදිරි උදෑසන බිම් තුහින දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා සමාන්‍යයෙන් දැකිය හැකිවේ.

හෝර්ටන්තැන්න ලංකාවේ වඩාත් ශීත හා සුළං වැඩිම ස්ථානය වන අතර මෙම භූමි ප්‍රදේශය හරහා අධික ලෙස සුළං හැමිම නිසා ශාක කුරුවී තිබෙන ආකාරයද නිරීක්ෂණය කර ගත හැක. මෙය කඳුකර සදාහරිත වනාන්තර, තෘණබිම්, වගුරුබිම් හා ජලජ පරිසර පද්ධතියකින් සමන්විත වන අතර අක්කර 7000 ක් පමණ භූමියෙන් අක්කර 4000ක පමණ ප්‍රමාණයක තණබිම් ඉතා සරුවට වැඩී ඇති ආකාරය දැක ගත හැක. ලංකාවේ වඩාත්ම වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි හෝර්ටන් තැන්න මහවැලි, කැළණි, වලවේ යන ගංගාවල පෝෂක ප්‍රදේශය මෙන්ම බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔය සඳහා වූ ජල පෝෂණයද ලබාදෙයි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධාත්මක වටිනාකම පිළිබඳව සලකා බැලීමේදී 1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවාය. එමෙන්ම මෙරටට ආවේණික පක්ෂීන් විශේෂ 98ක්ද, ක්ෂීරපායින් විශේෂ 14ක්ද, උභය ජීවීන් විශේෂ 16-20ක් පමණ ද, සමනල විශේෂ 40 ක්ද දැනට හඳුනාගෙන ඇත.

ශාක විශේෂ පිළිබඳව සලකා බැලීමේදී කදු හා නිම්නවලින් යුක්ත මේ පරිසරයේ එකිනෙකට වෙනස් ශාක විශේෂ හා ස්ථරවලින් යුක්තය. මෙහි තෙත් සදාහරිත වනාන්තරද පවතින අතර වනාන්තර ඇතුලට හිරු එළිය පතිත වන්නේ මද වශයෙනි. මේ නිසාම ඒවා ඇතුලත අදුරු බවකින් යුක්තය. ශාක ආලෝකය සදහා තරඟ කිරීමක් සිදු කරනු ලබයි. එහි ප්‍රථිපලයක් ලෙස ශාක මත වැඩෙන අපි ශාක හා උඩවැඩියා විශේෂ බහුල වේ. මෙම අපි ශාක නිරන්තර පවතින වලාකුළු මගින් ජලය ලබා ගැනීම සිදු කරයි. මෙහිදී හමුවන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාක විශේෂ 49 අතුරින් බහුතරයක් හෝර්ටන් තැන්නට පමණක් ආවේණික ඒවා වීම විශේෂ වුවකි. අලංකාර රතු පැහැති මලක් පිපෙන මහරත්මල් ශාකය (Rhododendron arboreum) දෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ ජනප්‍රිය ශාකයකි. මහරත්මල මධ්‍යම පළාත් පුෂ්පය වන අතර  සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා මෙම පරිසරයේ දී මහරත්මල දැකගත හැක. මීට අමතරව කීන (Calophylem walkeri), රතු මිහිරිය (Adinandra lasiopetala), වල් කුරුදු (Cinnamomum ovalifolium), වල් සපු (Michelia nilagirica), බිනර මල් (Exacum trinerva macranthum), මහ මීවන, බෝවිටියා (Osbeckia octandra) වැනි ශාකද මෙහි බහුලය. එසේම ප්‍රධාන ආක්‍රමණික ශාක විශේෂ 2ක්ද මේ උද්‍යානයේදී දැකගත හැකිය. එනම් එයුලැක්ස් හා වරැල්ල යන ශාකයන්ය.

ලංකාවට ආවේණික සත්ව විශේෂ විශාල පිරිසක් දක්නට ලැබෙන හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ සිව්පා සතුන් අතුරින් වැඩිම ගහණයක් පෙන්වන්නේ  ගෝන (Cervus unicolor) පරපුරයි. ඊට අමතරව හදුන් දිවියා (Prionailurus viverrinus), වැලි මුවා (Barking Deer), දඬුලේනා (Ratufa macroura), කොටියා (Panthera pardus kotiya), හාවා (Lepus nigricollis), වල් ඌරා (Sus scrofa), ඉත්තෑවා (Hystrix indica), දියබල්ලා (Lutra lutra ceylonica), උණහපුලුවා (Loris lydekkerrianus), ශ්‍රී ලංකා කළු වඳුරා (Trachypithecus vetulus) වැනි ක්ෂීරපායින් මෙම පරිසර පද්ධතිය තුළ දී දැකගත හැක. උභය ජීවීන් ලෙස පළා පදුරු මැඩියා (Pseudophilautus femoralis), ලංකා කඳුකර මැඩියා (Fejervarya greeni), ලංකා මුව පටු මැඩියා (Microhyla zeylanica), අං කටුස්සා (Ceratophora stoddartii) මෙන්ම විවිධ සමනල විශේෂ සහ උරග විශේෂ රැසක්ද මෙහි ජීවත්වන මුත් විශාල ක්ෂීරපායින් හෝර්ටන් තැන්නෙහි දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට පමණක් ආවේණික පක්ෂි විශේෂ 12ක් පමණ වාර්තා වී ඇත. ශ්‍රී ලංකා කැහිබෙල්ලා (Urocissa ornata), ශ්‍රී ලංකා අනු මැසිමාරා (Eumyias sordidus), ශ්‍රී ලංකා මයිලගොයා (Columba torringtoniae), ශ්‍රී ලංකා හබන් කුකුළා (Galloperdix bicalcarata), ශ්‍රී ලංකා වළි කුකුලා (Gallus lafayettii), ශ්‍රී ලංකා අරංගයා (Myophonus blighi), ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා (Pycnonotus penicillatus) සහ ශ්‍රී ලංකා වන රැවියා (Elaphrornis palliseri) ආදී පක්ෂීන් මෙම උද්‍යානයේදී දැක ගත හැකි අතර මෙය සමනලුන්ගේ ද පාරාදීසයකි.

හෝර්ටන් තැන්න පිළිබව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992දී ආරම්භ කරන ලද පර්යේෂණ වලදී හෝර්ටන් තැන්නේ අතීත පාරිසරික තත්වය, දේශගුණික තත්වය හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි. මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසානම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය, මීවන ශාක වල තත්වය, මිනිසා ඇසුරේ වැඩුණ ශාක, ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. හෝර්ටන් තැන්නේ දක්නට ලැබෙන යෝධ මීවන හා මහරත්මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒවාය. එමෙන්ම මීට වසර 9000කට පමණ පෙර පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේද ඇති වූ බව සොයා ගැනුණී. මෙහි මධ්‍ය ශිලා යුගයේ මානවයා (Mesolithc Man) වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව සිදුකළ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත. එසේම හෝර්ටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.

හෝර්ටතැන්නේ වඩාත්ම ප්‍රකට සංචාරක ස්ථානය ලෝකාන්තයයි. මෙහි සිට පහළට ඇත්තේ මීටර 870ක් පමණ වන බෑවුමකි. පහළ බැලූවිට තේ වතු යායන් හා බලන්ගොඩ ප්‍රදේශය පැහැදිලිව පෙනෙයි. එසේම කිරිකැටි ඔය හා දකුණු පලාතේ සමහර ප්‍රදේශ සේම ඈත මුහුදත් වලාකුළු නැති පැහැදිලි දිනවල බලාගත හැකිය. හෝර්ටන් තැන්නේ ඇති අනෙක් සුන්දරතම සංචාරක ස්ථාන දෙක වන්නේ බේකර්ස් ඇල්ල හා චිමිනි ඇල්ල යන දිය ඇලි දෙකයි. 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තේමා කර ගනිමින් 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් මුද්දර පෙළක් නිකුත් කරන ලදී. මෙම මුද්දර කට්ටලය රු.5, රු.15, රු.25 සහ රු.40 බැගින් වූ මුද්දර හතරකින්ද සිහිවටන පත්‍රිකා හතරකින්ද මුල් දින කවර 2කින්ද සමන්විත විය. ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති මෙම මුද්දර පෙළ මුද්දර එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය අයිතම වලින් එකකි.

මෙහි රු.5 වටිනාකම සහිත මුද්දරය සඳහා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියකු වන ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush – Myophonus blighi) යොදාගෙන ඇත. රු.15 වටිනාකම සහිත මුද්දරය හෝර්ටන් තැන්න පුරාවට දැකගත හැකි වන ගෝනා (Sambur – Cervus unicolor) නිරූපණය කරයි. හෝර්ටන් තැන්න වනෝද්‍යානයට පමණක් ආවේණික වූ අං කටුස්සා (Rhinohon Lizard – Ceratophora stoddartii) රු.25 මුද්දරය සඳහා යොදා ගෙන ඇත. රු.40 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ ලංකාවට ආවේණික වූ ශ්‍රී ලංකා කළු වඳුරාගේ (Purple Feced Leaf Monkey – Trachypithecus vetulus) රුවකි.

මුද්දර පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය2010.09.07
සැලසුම්කරුW. වසන්ත පෙරේරා
ප්‍රමාණය30mm × 70mm 70mm × 30mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 10 බැගින්
සිදුරු ප්‍රමාණය13 1/4
මුද්‍රණකරුGarsu Pasaulis, ලිතුවේනියා
භාවිතා කළ වර්ණහතරකි 
කඩදාසි102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි 
මැලියම්PVA
මුද්‍රණය කළ ප්‍රමාණය1,000,000 x 4
සිහිවටන පත්‍රිකා
වටිනාකමරු. 15.00, රු. 25.00, රු. 35.00, රු. 50.00
මුද්‍රණය කළ ප්‍රමාණය10,000 x 4

නාමාවලි අංක

රු.5 මුද්දරය (ශ්‍රී ලංකා අරංගයා)Sg:LK 2048, Mi:LK 1800, Sn:LK 1758, Yt:LK 1751, WAD:LK030.10
රු.15 මුද්දරය (ගෝනා)Sg:LK 2049, Mi:LK 1801, Sn:LK 1759, Yt:LK 1752, WAD:LK031.10
රු.25 මුද්දරය (අං කටුස්සා)Sg:LK 2050, Mi:LK 1802, Sn:LK 1760, Yt:LK 1753, WAD:LK032.10
රු.40 මුද්දරය (ශ්‍රී ලංකා කළු වඳුරා)Sg:LK 2051, Mi:LK 1803, Sn:LK 1761, Yt:LK 1754, WAD:LK033.10
රු.15 සිහිවටන පත්‍රිකාව (ශ්‍රී ලංකා අරංගයා)Mi:LK BL116, Yt:LK BF108, WAD:LK030MS.10, Sn:Unlisted
රු.25 සිහිවටන පත්‍රිකාව (ගෝනා)Sg:LK MS2052, Mi:LK BL117, Yt:LK BF109, WAD:LK031MS.10, Sn:Unlisted
රු.35 සිහිවටන පත්‍රිකාව (අං කටුස්සා)Mi:LK BL118, Yt:LK BF110, WAD:LK032MS.10, Sn:Unlisted
රු.50 සිහිවටන පත්‍රිකාව (ශ්‍රී ලංකා කළු වඳුරා)Mi:LK BL119, Yt:LK BF111, WAD:LK033MS.10, Sn:Unlisted

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *