මාර්ටින් වික්‍රමසිංහ මහතා

කොග්ගල ප්‍රාඥයා හෙවත් සිංහල යථාර්තවාදී නවකථාවේ පුරෝගාමියා ලෙස හැඳින්වෙන මාර්ටින් වික්‍රමසිංහ මහතා 1890 මැයි මස 29වන දින ශ්‍රී ලංකාවේ කොග්ගල නම් ග්‍රාමයේදී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනික් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජලයෙන් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද, කුඩා දූපත් වලින් සමන්විත වූ වැව, ශාක හා සතුන්ද පසෙකින් වූ වනගහනයෙන්ද සුසැදි කොග්ගල භූමි දර්ශනය මෙන්ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන සිතුම් පැතුම්, ජීවන ක්‍රමය සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය.

ඔහුගේ පියා කොග්ගල, මලලගම ළමා හේවගේ දොන් බස්තියන් ද සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ) වූ අතර මව මාගොල්ල බලපිටියේ ලියනගේ නොච්චිහාමි වූවා ය. දස දෙනෙකුගෙන් යුතු පවු‍ලේ එකම පිරිමි දරුවා ලෙස උපත ලද මෙතුමාට දෙමාපියන් විසින් ලබා දුන් නම වූයේ “ළමා හේවගේ දොන් මා‍ර්ටින් වික්‍රමසිංහ” යන්නයි.

මෙතුමා මුලකුරු කියැවූයේ 1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙනි. ඉන්පසු වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ මහතා සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේය. ඔහු දේවනාගරී අක්‍ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. පසුව ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, මෙතුමා 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව 1900 වර්ෂයේදී ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ථා කනිෂ්ඨ විද්‍යාලයට ඇතුලත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළදී මෙතුමා ඉංග්‍රීසි මෙන්ම ලතින් භාෂාව ද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේය.

සිය පියාගේ අභාවයත් සමග ඇති වූ ආර්ථික අපහසුකම් වැඩි වීම හේතුවෙන් 1902 වර්ෂය වනවිට පාසලෙන් අස්වී කොග්ගල වීරානන්ද හිමියන් වෙතින් සිංහල හා පාලි සංස්කෘත ඉගෙනගත් අතර එතුමාගේ පළමු ග්‍රන්ථය වූ “බාලෝපදේශය” මෙම කාලය තුල දී පලකෙරිණි. 1904දී නැවත අහංගම සිංහල පාසලට ඇතුලත් වූ මොහු 1906දී නැවතත් පාසලෙන් ඉවත්වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස සේවය කලේය. ලක්මිණ, දිනමිණ හා සිළුමිණ පුවත්පත් වල කර්තෘ තනතුර හෙබ වූ මෙතුමා 1914 දී “ලීලා” නැමති නවකතාව ලියා ලේඛකයෙක් බවට පත්විය.

නවකතා කරුවකු ලෙස වඩාත් ප්‍රකට වූ වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටි කතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ අධ්‍යාපනය, විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යයි.

1914 වර්ෂයේදී “ලීලා” නවකතාව ඔස්සේ සාහිත්‍යයමය කරලියට පිවිසෙන මෙතුමා ඉන්පසු, සාහිත්‍ය විචාර ලිපි එකතුවක් “ශාස්ත්‍රීය ලේඛන” නමින් 1919 දී ජනගත කරයි. 1916 දී දිනමිණට ලියන සමයේ සොබාදහම පදනම් කොටගෙන ළමුන් තුළ කියවීමේ රුචිය ඇතිවන පරිදි “කුරුමිණි සත්තු”(1929), “කුරු කුහුඹු සත්තු”(1930), “වෙස් මාරු කරන සත්තු”(1932), “මුහුදු වෙරළ”(1932), “සත්ත්ව ලෝකය”(1936), හා “විද්‍යා විනෝද කතා”(1957) යනුවෙන් ළමා කතා එකතුවක් කලින් කලට පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. “ලීලා”ගෙන් පසුව තවත් නවකතා කිහිපයක්ම ඔහු අතින් ලියැවිණි. “සෝමා”(1920), “අයිරාංගනී”(1923), “සීතා”(1923), “මිරිඟු දිය”(1925), “උන්මාද චිත්‍රා”(1929), “රෝහිණි”(1929), “ගම්පෙරළිය”(1944), “මඩොල් දූව”(1947), “යුගාන්තය”(1949), “විරාගය”(1956), “කලියුගය”(1957), “කරුවල ගෙදර”(1963) සහ “බවතරණය”(1973) යනු එකී නවකතා පෙළයි.

අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමඟ සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944දී පළවූ ගම්පෙරළිය නවකතාවයි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩා හැලෙන ආකාරය එමඟින් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික, ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් මේ සඳහා යොදා ගැනිණ. මෙතුමා විසින් පසුව ගම්පෙරළිය(1944), යුගාන්තය(1949) සහ කලියුගය(1957) යන තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරා වැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ. අදටත් සිංහල සාහිත්‍යයේ විශිෂ්ට නවකථාවක් ලෙස සැලකෙන 1956දී මෙතුමා විසින් පළකරන ලද “විරාගය” නවකතාව රසිකයන්ගේත් විචාරකයන්ගේත් ප්‍රශංසාවට පාත්‍ර විය.

එපමණක් නොව, “සාහිත්‍යෝදය කතා”(1932), “විචාර ලිපි”(1941), “ගුත්තිල ගීතය”(1943), “සිංහල සාහිත්‍යයේ නැගීම”(1946) වැනි කෘතීන් ඔස්සේ සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය සම්ප්‍රදායයන් සමග සසඳමින් විචාරයට බඳුන් කිරීමට ද ඔහු වෙහෙසුණි. එමෙන්ම 50 දශකයේදී “සාහිත්‍ය කලාව” සහ “කාව්‍ය විචාර” යන විචාරාත්මක ග්‍රන්ථ ද්විත්වය ජනගත කෙරිණි. තවද, “ගැහැනියක්”(1924), “මඟුල් ගෙදර”(1927), “පව්කාරයාට ගල් ගැසීම”(1936), “අපේ විත්ති”(1942), “හඳ සාක්කි කීම”(1945), “මගේ කතාව”(1947), “බිල්ල සහ අපූරු මුහුණ”(1949), “වහල්ලු”(1951) හා “කතා අහුර”(1955) නමින් කෙටිකතා සංග්‍රහයන් ද තම පාඨකයා වෙත පිරිනැමීය. තම පෞද්ගලික ජීවිතය ඇසුරින් ලියැවුණු “කළුනික සෙවීම”, “අපේ ගම” හා “උපන්දා සිට” යන ග්‍රන්ථ මෙන්ම “චිත්‍රා”(1940)”, “මයුරි”(1944” සහ “විජිතා”(1953) නම් දෘශ්‍ය කාව්‍යයන් ද ඇතුළත් ව තවත් ග්‍රන්ථ හා ලිපි ලේඛන රාශියක් ඔහු අතින් ලියැවිණි.

මෙතුමා “සාහිත්‍ය චක්‍රවර්තී” සම්මානය හා “ජනාධිපති සාහිත්‍ය සම්මානය” හිමි කරගත් අතර බ්‍රිතාන්‍ය 0.B.E සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. සැබැවින්ම හරිහැටි පාසල් අධ්‍යාපනයක් නොලත් වික්‍රමසිංහ මහතා ඉහලම බුද්ධි තලය දක්වා වර්ධනය වූයේ පොතපතින් හා ජීවිත තක්ෂලාවෙන් අහුලා ගත් දැනුමෙනි. ඒ පිළිබඳව එතුමා “උපන්දා සිට” කෘතියෙහි තම අධ්‍යාපනය පිළිබඳ සටහන් කොට ඇත.

මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති 4ක්ද, ජීව විද්‍යා කෘති 6ක්ද, අතිරේර්ක කියවීම් පොත් 4ක්ද, නවකතා 14ක්ද, කෙටි කතා 11ක්ද, නාට්‍ය 4ක්ද, “තේරී ගී” නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ 23ක්ද, ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා දායාද කර ඇත.

මෙසේ එදා මෙදා තුර ශ්‍රී ලාංකික සාහිත්‍යයේ පෝෂණයට අනුපමේය මෙහෙයක් සිදුකල මාර්ටින් වික්‍රමසිංහ මහතා 1976 ජූලි මස තම ජීවන රඟ මඩලින් සමුගත්තේ ශ්‍රී ලාංකික සාහිත්‍යය තුළ අමරණීය නාමයක් ඉතිරි කරමිනි.

ජාතික වීරයෝ යන තේමාව මුල් කරගනිමින් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මඟින් 1986 මැයි මස 22 වන දින මුහුණත වටිනාකම ශත 75ක් වූ මුද්දර 05ක් නිකුත් කරන ලදී. කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශෙඛර මහානායක හිමි, බ්‍රහ්මචාරී වලසිංහ හරිස්චන්ද්‍ර මැතිදුන්, මාර්ටින් වික්‍රමසිංහ මැතිදුන්, ජී.ජී. පොන්නම්බලම් මැතිදුන් සහ ඒ.ඇම්.ඒ. අසීස් මැතිදුන් සිහිපත් කරමින් මෙම සමරු මුද්දර නිර්මාණය කෙරිණි. මෙම මුද්දර අතරින් මාර්ටින් වික්‍රමසිංහ මහතා සිහි කරමින් නිර්මාණය වූ මුද්දරය පිළිබඳව විස්තර පහත දක්වා ඇත.

මුද්දරය පිළිබඳ විස්තර

නිකුත් කළ දිනය1986.05.22
මුහුණත වටිනාකමශත 75 (රු. 0.75)
සැලසුම්කරුS.S. සිල්වා
ප්‍රමාණය30mm × 40mm
මුද්‍රණ ක්‍රමයඔෆ්සෙට් ලිතෝග්‍රැපි 
පත් සැකැස්මපත්‍රිකාවක මුද්දර 50 බැගින්
සිදුරු ප්‍රමාණය12 1/2
මුද්‍රණකරුMessrs. Format International Security Printers Ltd., U.K.
භාවිතා කළ වර්ණහතරකි
කඩදාසිවිශේෂ ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි
මැලියම්PVA ට්‍රොපිකල් ගම් (PVA Tropical gum)
නාමාවලි අංකStanley Gibbons  LK 945
Michel  LK 747
Stamp Number  LK 797
Yvert et Tellier  LK 761

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *